උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම් සහ සති අන්ත නිවාඩු දීමනා ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සංකේත වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම්කර තිබෙනවා.
එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ ලබන 22 වැනිදා එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව ආණ්ඩුව විසින් මර්දනය කිරීම හෙළා දකින බව එම බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසනවා.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශය අසළ පෙරේදා පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළේ සම සෞඛ්‍ය සේවාව ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තීන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් බඳවා ගැනීමට එරෙහිවයි.
එහිදි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සිසුන් 09 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද කර මුදා හැරුණා.
එම විරෝධතාව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව පවසමින් ඊට එරෙහිව පේරාදෙණිය වි්ශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය ඊයේ මහනුවර නගරයේදී පන්දම් විරෝධතාවක නිරත වුණා.
කෙසේ වෙතත් පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසදීමට රජය මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් ලබන 22 වැනිදා එක්දින වැඩවර්ජනයක නිරත වන බවයි.
මේ අතර, පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් සේවාවන් දෙකක පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් පසුගියදා පැවති තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබු අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණය ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා ඔවුන්ගෙන් 494 දෙනෙක් බඳවා ගැනීමට නියමිත බවයි.