මේ කියන්න යන්නේ මේ දවස්වල වැඩියෙන් අහන්න දකින්න ලැබුණු ඒ කතාව ගැන ඇසෙන වෙනස්ම කතාවක් ගැනයි..
2024 වර්ෂය තුළ මාරක රිය අනතුරු 852ක් වාර්තා වී තිබෙනවා. රිය අනතුරුවලට ගොදුරු වූ පුද්ගලයන් 891 දෙනෙක් මියගොස් ඇති අතර, 2025 වර්ෂයේ ගෙවී ගිය මාස 5ට රිය අනතුරු 895ක් සිදු වී, පුද්ගලයන් 957 දෙනෙක් මියගොස් තිබෙනවා. යනෙන මඟ අතිශය අනාරක්‍ෂිතය. එමෙන්ම මේ ගෙවී යනුයේ ජනතාවගේ අපල කාලයකි. එහෙයින් දැහැමින්, බුද්ධියෙන් ගමන යා යුතු ය.
එහෙත් කොත්මලේ ගැරඬිඇල්ල මාරක බස් අනතුර වැනි ඛේදවාචකයක දී මාරයා ප්‍රබල ය. අඩි සියයක ප්‍රපාතයට බස් රථය ඇද වැටෙනවිට මගීන්ට මොනව සිහි වූයේ ද යන්න දන්නේ ජීවතුන් අතර සිටින අය පමණි. බස් රථයේ දෝෂයක් ඇති වූයේ ද යන්න දැනගැනීමට ද අවස්ථාවක් නැත. බස් රථය ධාවනය කළ රියැදුරු ජීවතුන් අතර නැත. රොඩු, බොඩු ගොඩක් බවට පත් වී තිබෙන බස් රථයේ කොටස් පරීක්‍ෂාවට භාජනය කොට අනතුරට හේතු සෙවීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ වගකීමකි. මේ සටහන තබන මොහොත වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අනතුරට ලක් වූ බස් රථයේ සුන්බුන් පරීක්‍ෂා කර තිබිණි. එහෙත් අනතුරට හේතුව වාර්තා කර නොතිබිණි. දැන් එම අනතුර ගැන කතා ඵලක් නැත. අප කතා කළ යුත්තේ මෙරට මගීන්ගේ හෙට දවස ගැන ය.
මෙරට ක්‍රියාත්මක රාජ්‍ය සහ පෞද්ගලික මගී බස් රථ සේවයේ දී මාර්ග නීති පයිසෙකට මායිම් නොකට, මගීන් සතුන් ගානට දමා බස් රථ ධාවනය කරන බහුතරය පෞද්ගලික බස් රියැදුරන් ය. ලංගම බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු රජයේ රැකියාව ආරක්‍ෂා කරගැනීම වස් රාජකාරියේදී වැරැදි අඩුවෙන් සිදු කිරීමට උපරිම උත්සාහ කරන බව පෙනේ. ගැරඬිඇල්ල බස් අනතුරේ දී මියගිය රියැදුරු මහතා ද මත්පැන් පානය නොකරන, නීතිගරුක සේවකයෙක් බව කතරගම ඩිපෝ අධිකාරිවරයාම මාධ්‍යයට පවසා තිබිණි. එමෙන්ම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මෙරට මගී ප්‍රවාහන සේවයේ නිරතව තිබෙන බස් රථ සංඛ්‍යාව, රැගෙන යන මගීන්ට අනුපාතිකව බහුලව අනතුරුවලට ලක් වී ඇත්තේ පෞද්ගලික මගී බස් රථය.
පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු හඹා යනුයේ ටාගට් එකකි. ඔවුන්ගේ අරමුණ වැඩි මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කොට වැඩි ආදායමක් උපයා ගැනීමය. ඒ වෙනුවෙන් ඔවුහු පොල් පටවන තරමට මගීන් පටවති. අනතුරුව අනෙකුත් බස් රථ පසු කර ඉදිරි නැවතුම් පොළේ ‘කෑලි’ එකතු කිරීමට මාර්ග නීති නොතකා අධික වේගයෙන් ධාවනය කරති. මාර්ගයේ ගමන් කරන සෙසු වාහන ගැන ප්‍රවයිට් බස් රියැදුරන්ට වගක් නැත. එමෙන්ම ඉදිරියෙන් ගමන් කරන සහ පසු පසින් පැමිණෙන බස් රථ ගැන විමසා බැලීමට නිතරම රියැදුරුගේ එක අතක ජංගම දුරකථනයකි. ලැබෙන දුරකථන ඇමැතුම අනුව බස් රථය ධාවනය කෙරෙන වේගය අඩු, වැඩි වේ. අත රැඳි දුරකථනය මොහොතකට හෝ පසෙකින් තබනුයේ බුලත්විටක් මුවට ඔබා ගැනීමට පමණි.
පාර දිගට බුලත් කෙළ ගැසීම ලංගම, ප්‍රයිවට් බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු කරන නොහොබිනා, අවලස්සන ක්‍රියාවකි. පරිසර දූෂණයකි. එමෙන්ම බස් රථය කොපමණ වේගයෙන් ධාවනය කළ ද? සෙමෙන් ගිය ද? මගීන්ට ප්‍රශ්න කළ නොහැකිය. ප්‍රශ්න කරන මගීන්ට අම්මා, අප්පගෙ කෑලි නැති වෙන්න බැන තර්ජනය කරන අයුරු නිරන්තරයෙන් දෙසවනේ රැඳෙයි. දෛනිකව බස් රථවල ගමන් කරන මගියෙක් ලෙස පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ අමන හැසිරීම්, මගීන්ට කරන හිරිහැර ගැන හොඳ හැටි දැනුවත් ය. බස් රථය තුළ මගීන්ට වන ආසාධාරණකම් ගැන දැනුම් දීමට තිබෙන දුරකථන අංකයට ඇමැතුම් ලබාගත්ත ද ඵලක් නැත. එම අංකවලින් කිසිදු ප්‍රතිචාරයක් නැත. ඒ සියල්ල බොරු ය. රැවටීම් ය. අසරණ මගී ජනතාව කොන්දොස්තරගේ පාලනය තුළ සිර වී අසීරුවෙන් ගමන් කරනුයේ ගමන යෑමට වෙන විකල්ප නොමැති නිසා ය.