දන්සලේ ප්‍රධාන අනුග්‍රාහකයන් කිහිප දෙනාගෙන් එක් අයකුට යැවූ විශේෂ දන්සල් කෑම පාර්සලය එය යැවූ තරුණයා සිය පෙම්වතියගේ මව සතුටු කරන්න ඇයගේ නිවසට එය ගෙන ගොස් තිබුණත්, දන්සල් සංවිධායකයන් අලි අමාරුවක වැටුණු කතාවක් ගැනයි මේ කියන්න යන්නේ..
මේ දන්සලත් ලංකාවේ අනෙක් දන්සල් වගේම කළේ ප්‍රධාන අනුග්‍රාහකයන් කිහිපදෙනෙකුගේම ආධාර උපකාරවලින්.. ඒ අතර කෝටිපතියෝද සිටියා..
මැද පන්තියේ අයද නොසිටියාම නොවේ.. එහෙයින් ඔවුනට ගරු කිරීමක් සහ සැලකීමක් වශයෙන් දන්සලේ සංවිධායකයන් කරනුයේ දන්සල ආරම්භ කිරීමට පෙර එම අනුග්‍රාහකයන්ගේ නිවෙස්වලට විශේෂයෙන්ම සැකසූ කෑම පාර්සල් යැවීමයි... එය එම පවුලේ සියලුදෙනාටම භුක්ති විඳිය හැකි කෑම පාර්සලයක්..
මේ දන්සලේ එසේ අනුග්‍රාහකයකුට දන්සලට උදව්පදව් කළ කොල්ලෙක් අතේ විශේෂ කෑම පාර්සලයක් යැවීමට දන්සල් සංවිධායකයෝ කටයුතු කළා... කොල්ලාට කීවේ අසවල් දානපතියාගේ නිවසට මේ කෑම පාර්සලය දෙන ලෙසයි... ඕක මොකක්ද මම ඒක කරන්නම් යයි ඔහු කීවේ දන්සල් සංවිධායකයන්ගේ හිසේ තිබූ ලොකු බරක් හිස් කිරීමට සහයෝගය දුන්නාක් මෙනි...
කොල්ලා සිය යතුරුපැදියෙන් දන්සලේ විශේෂ කෑම පාර්සලය දානපතියාගේ නිවසට ගෙන ගියා පැයක් දෙකක් ගතවූවිට දානපතියාගෙන් දන්සලේ ප්‍රධාන සංවිධායකයාට දුරකතන ඇමතුමක් ලැබුණා... එයින් කියවුණේ තමන්ට දන්සලෙන් දෙනවා යයි කියූ විශේෂ කෑම පාර්සලය තවමත් නොලැබුණු බවයි.. කෑම නොපිසූ නිවැසියන් මේ නිසා සිටිනුයේ බඩගින්නේ බවත් දන්සල් ප්‍රධාන සංවිධායකගේ ඉහමොළ රත්වුණා... ඔහු අනෙක් අයට මේ බව දැන්වූ අතර, ඔවුහු මේ සම්බන්ධයෙන් දැඩි ලෙසම කලබල වුණා... දානපතියාට කෑම පාර්සලය යැවූ කොල්ලාද පෙනෙන්නටවත් නැහැ..
ඊටත් වඩා දැන් යන්නේ දන්සලේ අවසන් හරියයි... දානපතියාට යැවීමට මේ කෑම කොහොමත්ම නුසුදුසුයි.. දන්සල් සංවිධායකයන්ට දෙවියන් බුදුන් සිහිවුණා... ඒ මේ වැඩෙන් ලබන පාර දන්සලට මේ දානපතියාගෙන් ආධාර ලබාගැනීමට නොහැකි බව සිතට ඒමෙන්... ඔවුන් අත තිබූ මුදලින් කෑම කඩයකින් විශේෂ මාළු කෑම පාර්සල් කිහිපයක් දානපතියාට යැවීමට කටයුතු කළා...
දානපතියා දන්සල් බත් නොකනු ඇතැයි සිතූ කොල්ලා තමාගේ අත දානපතියාට යැවූ විශේෂ කෑම පාර්සලය පෙම්වතියට දී ඇත්තේ දන්සලේ තමාට ඇති තත්ත්වය ඇයගේ මවට පෙන්වීමටයි.. දන්සල් සංවිධායකයන් මේ කොල්ලා ගැන සොයා බැලූවිට එය දැනගන්න ලැබී තිබුණාලු.. කොහොමහරි මේ සිද්ධියෙන් පස්සේ ඔහු දැන් දන්සල් සංවිධායකයන් මගහරිමින් ඉන්නවා ලු...