2025 IPL තරඟාවලිය "වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සඳහා" අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා..
ඉන්දු - පාකිස්ථාන යුද උණුසුම ඉහළ යෑමත් සමග එය දැන් දෙරටේ ක්‍රිකට් තරග බිමටත් දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා..
මේ දිනවලදී ඉන්දියාව උණුසුම් කරමින් ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන IPL ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක වන අතර එහි තරගයක් දිල්ලි කැපිටල්ස් සහ පංජාබ් කිංග්ස් අතර ඉන්දියාවේ ධර්ම්සාලාහිදී පැවැත්වීමට නියමිතව තිබුණා..
තරගයේ පන්දුවාර 10යි එක් පන්දුවක් ක්‍රියාත්මක වෙද්දී හිටි හැටියේ ක්‍රීඩාංගණයේ විදුලි කුළුණක් අක්‍රියවීමත් සමග තරගය අතරමඟ අවලංගු කර දමන්නට IPL තරගය සංවිධායකයින් විසින් පියවර ගත්තා...
කෙසේවෙතත් පසුව අනාවරණය වුණේ හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගමයට අයත් ධර්ම්සාලා ක්‍රීඩාංගණයට කිලෝමීටර 200ක පමණ දුරකින් පිහිටි ජම්මු කාෂ්මීර ප්‍රදේශයට පාකිස්ථාන මිසයිල ප්‍රහාරයක් එල්ලවීමත් සමග ආරක්ෂක පියවරක් ලෙස විදුලිය විසන්ධි කර තිබෙන බවයි..
ඒ අනුව පූර්ව ආරක්ෂක පියවරක් ලෙස දිල්ලි - පංජාබ් තරගය අත් හිටුවා දමන්නට පියවර ගත්තා.. ඒ අතරවාරයේදී ධර්ම්සාලාහිදී පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි IPL තරග නොපැවැත්වීමටත් තීරණය කර තිබෙනවා..
ඒ අනුව ලබන ඉරිදා මුම්බායි ඉන්දියන්ස් සහ පංජාබ් කිංග්ස් අතර ධර්ම්සාලාහිදී පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.. මේවන විට IPL තරගාවලියේ තරග 58ක් පවත්වා තිබෙන අතර ඒ අනුව මූලික වටයේ තරග 12ක් සහ අවසන් මහා තරගය ද ඇතුළුව අවසන් වටයේ තරග 4ක් ද පැවැත්වීමට නියමිතයි..
මේ අතර පාකිස්ථානයේදී ද මේදිනවලදී ක්‍රියාත්මක වන පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග පාකිස්ථානය තුළ පැවැත්වීම නවතා දමන්නට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එරට රජය පියවර ගෙන තිබෙනවා..
ඒ තරග පැවැති රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ඒ අවට කලාපියට ඉන්දීය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමත් සමගයි..
ඒ අනුව PSL තරගාවලියේ මූලික වටයේ ඉතිරි තරග 4ක් සහ අවසන් මහා තරගය ඇතුළුව අවසන් වටයේ තරග 4ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ...
PSL තරගාවලියේ ඉතිරි තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ දිනවකවානු ඉදිරියේදී පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දැනුම් දීමට නියමිතයි...