ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දන්ත ධාතූන් වහන්සේ දැක වන්දනා කිරීම සඳහා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව අද නිමාවට පත්වුණා.
එහි අවසන් දිනය වූ අදත් 80,000කට ආසන්න සැදැහැවතුන් පිරිසකට දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා අවස්ථාව උදා වුණා.
ආරම්භයේ සිට ගෙවුණු දින 10 තුළ දළදා වහන්සේ වන්දනා කරගෙන ඇති සැදැහැවතුන් ගණන ලක්ෂ 6කට අධිකයි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වාසය කරන උතුම් වූ දන්ත ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව සුවහසක් ජනතාවට ලබාදෙමින් සිරි දළදා වන්දනාව ආරම්භ කෙරුණේ පසුගිය 18 වැනිදායි.
ඩී.එස්. සේනානායක වීදියේ සහ වැව රවුම දක්වා පමණක් අද පෝලිම් පැවැති අතර එහි ඇතැම් ස්ථානවල මතු වූ නොසන්සුන් තත්ත්වයන් ආරක්ෂක අංශ මැදිහත්ව සමථයකට පත් කළා.
මේ අතර රණක්ෂිතයට පත් රණවිරුවන් අද දිනයේත් දළදා වහනසේ වන්දනාමාන කිරීම වෙනුවෙන් පැමිණ සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම දින ගණනාවක් පුරා සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයට පැමිණි ජනතාව බැහැර කළ අපද්‍රව්‍ය ඉවත් කිරීමට දිවා රෑ නොබලා වෙහෙසුණු කම්කරුවන් මහනුවර නගරය පිරිසිදුව තබා ගැනීමට ඉටු කළේ මහඟු සේවවාවක්.
එම සේවාවට වටිනාකමක් එක් කරමින් අද දිනයේදී සිරි දළදා වන්දනාව අවසන් කිරීමට පෙර ඔවුන්ට දළදා වහන්සේ වන්දනා කිරීමට විශේෂ අවස්ථාවක් ලබා දී තිබුණා.
මේ අතර සිරි දළදා වන්දනාවට විශාල ජනතාවක් පැමිණීමත් සමග මහනුවර නගරය ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල එක්රැස්වූ කසළ ඉවත් කර පවිත්‍ර කිරීමේ කටයුතු පාර්ශ්ව රැසක මැදිහත් වීමෙන් අදත් සිදුවුණා.
එමෙන්ම දළදා වන්දනාව නිමාවූ පසුව නිවෙස් බලා නොගොස් මහනුවර රැදී සිටින සියලූම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කර තිබෙනවා.
මේ අතර සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන් මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ අතර, ඇතැම් ගමන්මළු නැවත භාර නොගැනීම හේතුවෙන් භාරදුන් ස්ථානවලම ඒවා සුරක්ෂිතව පවතිනවා.
එම ගමන්මළු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන ස්ථානය ඉදිරිපිටදී නැවත ලබාදීමේ වැඩපිළිවෙලක් හෙට සහ අනිද්දා දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා ලෙසයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමුණූ මහනුවර හා ඒ අවට පාසල් 24 ක් හෙට යළි විවෘත කිරීමට නියමිතයි.
ඊට අමතරව, ආරක්ෂක අංශ සාමාජිකයින්ට පහසුකම් සැපයිම සදහා වසා දැමූ පාසල් 37 ක්ද අනිද්දා යළි විවෘත කෙරෙනු ඇති.