සිරි දළදා වන්දනාව සඳහා මේ වනවිට මහනුවර නගරයට පාලනය කර ගත නොහැකි තරම් අති විශාල පිරිසක් පැමිණ ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත අද ඉල්ලීමක් කළා.
මේ අතර මහනුවරට පැමිණි පුද්ගලයින් තුන් දෙනෙකු හදිසි රෝගී තත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 420කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කියා සිටියේ.
බලධාරීන් විසින් මහනුවර නගරයට නොපැමිණෙන ලෙසට දැනුම් දී ඇති බැවින් ස්ථාන කිහිපයකින් මහනුවර නගරයට ජනතාව ඇතුලුවීම ද සීමා කර තිබෙනවා.
එමෙන්ම සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දියත් කළ විශේෂ දුම්රියද අද සිට නැවත දැනුම් දෙන අත්හිටුවනු ලැබුවා.
සිරි දළදා වන්දනාව අද පස්වරුවේ සත්වන දිනට අවසන් වූ අතර වන්දනාව සඳහා පවතින ප්‍රවේශ මාර්ග 3ම ජනතාවගෙන් තවදුරටත් පිරී පවතින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම ජනතාව විශාල වශයෙන් එක්රැස්වීම හමුවේ මහනුවර නගරයේ වීදිවල කසල ගොඩ ගැසී අපවිත්‍ර වී වනවා.
දළදා වන්දනා මෙහෙයුම් කමිටුවේ තීරණ දැනුම් දීම වෙනුවෙන් අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කියා සිටියේ මහනුවර නගරයට තවදුරටත් ජනතාව පැමිණීම වැලැක්වීමට ප්‍රවේශ මාර්ග 6කින් බස් රථ නැවත්වීමට කටයුතු කරන බවයි.
මේ අතර වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාලව යෝජනාවක් මහා නා හිමිවරුන් හා දියවඩන නිලමේවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර බවයි මාධ්‍ය හමුවට එක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් කියා සිටියේ.