මීගමුව, දෙහිමල් වත්ත ප්‍රදේශයේ දිගු කාලයක් පවත්වාගෙන ගිය රහසිගත සූදු මධ්‍යස්ථානයක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමින් 10 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.
ස්වාමි පුරුෂයා රැකියාවට ගිය පසු බිරින්දෑවරුන්ද ඇතැම් පවුල් වල අඹු සැමියන්ද එක්ව කලක් සිට ඉතා රහසිගතව මෙහි සිට සූදු කෙළ ඇත.
මොවුන් මුදලට ඔපට්ටු තබමින් බූරුවා ගැසීම සිදුකර ඇති බවද වාර්තාවේ.
මෙම සූදු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ දෙහිමල් වත්ත පාරේ පිහිටි නිවසක අයිතිකරු විසින් ඔහුගේම පදිංචි ස්ථානයේ බව පොලිස් වාර්තාවල දැක්වේ.
මෙම සූදු මධ්‍යස්ථානය පිළිබඳව පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන අතර, එම ස්ථානය රහසිගතව තැරැව්කරුවන් යොදා පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද සඳහන් වේ.
පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමේදී එම ස්ථානයේ රුපියල් 425,000 ක මුදලක් සොයාගෙන ඇති අතර, එම මුදල පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සූදු ක්‍රීඩාවේ නිරත වී සිටි සමහර පුද්ගලයින් තම ත්‍රීවිල් රථ, යතුරුපැදි සහ ඇතැම් අවස්ථාවලදී රන් ආභරණ පවා උකස් තබා මෙම ක්‍රීඩාවේ නිරත වී ඇති බව සොයාගෙන ඇත.
මෙම සූදු මධ්‍යස්ථානය සාමාන්‍යයෙන් රාත්‍රී 9.00 ට පමණ ආරම්භ වී පසුදා අලුයම දක්වා ක්‍රියාත්මක වී ඇත. සමහර පවුල්වල මවුපිය දෙපාර්ශවයම සූදුවට ඇබ්බැහි වීම නිසා ඔවුන්ගේ දරුවන් දැඩි පීඩාවකට ලක් වී සිටින බව සොයාගෙන ඇති අතර, සමහර දරුවන්ට මේ හේතුවෙන් පාසල් යාම පවා නතර කිරීමට සිදුවී ඇති බවද වාර්තා වී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.