ඒ බෝම්බ ප්‍රහාරය ගැන අදටත් බොහෝ දෙනා අතර ඇත්තේ අඳුරු මතකයක්..
ඔවුන්ගේ වෙන්වීමෙන් පස්සේ කී දෙනෙකුගේ නම් ජීවිත වෙනස් වෙන්නට ඇතිද..?
ඒ අඳුරු මතක එක්ක තවමත් ඔවුන් දිවි ගෙවන්නේ දුකෙන් වුණත් එතනින් නොනැවතී ඉරිදියට ගිය ඇය ගැනයි මේ ඇසෙන්නේ..
"2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් දර්ශනීගේ මව ඩබ්ලිව්. වික්ටෝරියා ජීවිතය හැර ගිය අතර, බරපතළ තුවාල ලද දර්ශනී මාස ගණනාවක් ගිලන් ඇඳට සීමා වන්නීය.
“මගෙ අත්, කකුල්, ඇඟ පිච්චිලා; කකුල කැඩිලා. ඇඟ ඇතුළේ තැන් තැන්වල බෝම්බෙ තිබුණු යකඩ බෝල 25ක් විතර තිබුණා. දවස් 14ක් මම රෝහලේ හිටියා. ශාරීරික වේදනාවටත් වඩා මට දරන්න බැරි වුණේ අම්මගේ අහිමි වීම. අවුරුද්දක් විතර රෝද පුටුවට වෙලා ඉන්න කොට මට හිතුණා මට කවදාවත් නැඟිටින්න, ඇවිදින්න බැරි වෙයිද කියලා. ඒත් දෙවියන් වහන්සේ මාව නැඟිටට්වේවා. මට ආපහු ඇවිදින්න ශක්තිය දුන්නා. ඒ වගේම මාව හොඳින් බලාගන්න හොඳ මහත්තයෙකුත් දුන්නා.” දැන් දර්ශනීගේ දෑස්වල ඇත්තේ තුටු කඳුළුය. ඇයගේ සැමියා ඒ. ප්‍රගලාදන් ඒ අපූරු ආදර කතාව අසන්නටම හිතුණේ එනිසාය.
'අපි දෙන්නා කාලයක් හොඳම යාළුවෝ. දවසක් මම විහිළුවට වගේ දර්ශනීගේ අම්මගෙන් ඇහුවා මෙයාව බඳින්නද කියලා. මම හින්දු නිසා අම්මා කැමැති වුණේ නැහැ. අපි දෙන්නා අතර යාළුකමක් මිස ආදර සම්බන්ධයක් තිබුණේ නැති නිසා ඒ සිද්ධියෙන් පස්සේ මටත් දර්ශනීව මඟහැරුණා. බෝම්බ ප්‍රහාරය වෙලා අවුරුද්දකට විතර පස්සෙ දවසක මම ඉන්ස්ට්‍රගෑම් එකෙන් දර්ශනී දැකලා එයාට මැසේජ් කළා. දර්ශනී මගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවාම මම එයාට වීඩියෝ කෝල් එකක් ගත්තා. දර්ශනී දැක්කම මට පුදුම හිතුණා. කකුල්වලට කම්බි දාලා අඳුනගන්න බැරි තරම් වෙනස් වෙලා හිටියෙ. බෝම්බයක් වැදිලා මෙහෙම වෙලා කියලා මම දන්නෙ නෑ නේ. මම කිවුවා මම ඔයාව බලන්න එන්නම් කියලා. දර්ශනී එයා විඳින කායික, මානසික වේදනාව ගැන නිතර මා එක්ක කතා කළා.'
“මම එයාව බලන්න ගියාම එයා කිවුවා මාව බඳින්න ඕනෑ කියලා. විවාහ වෙන අදහසක් මගෙ හිතේ තිබුණෙ නැති වුණත් එයා ඉන්න තත්ත්වේ එක්ක ඒ ඉල්ලීම අහක දාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැම දෙනාගේම ආශීර්වාදයෙන් 2023දි අපි විවාහ වුණා. විවාහ වෙන්න අකැමැත්තෙන් හිටිය කෙනෙක් වුණත් මම දැන් මේ ජීවිතේට කැමැතියි. මම පුළුවන් උපරිම හොඳින් දර්ශනී බලාගන්නවා. මේ අනතුර නිසා එයාගෙ කකුලට කම්බි දාලා තියෙන නිසා ගමන් බිමන් යන්න පහසු වෙන්න මම ත්‍රීවීල් එකකුත් ගත්තා. මොන අමාරුකම් තිබුණත් එයාට කොච්චිකඩේ පල්ලි යන්නම ඕනෑ. පල්ලි ගිහින් මියගිය අය වෙනුවෙන් හදලා තියෙන තැනට ගියාම එයාගෙ හිත රිදෙනවා. එයා අම්මා වෙනුවෙන් තාම දුක් වෙනවා කියලා මම දන්නවා. ඒත් මම හැම වෙලාවෙම විහිළු කරලා හිත සැහැල්ලු කරනවා. එයාව සතුටින් තියන්නයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ.”
ප්‍රගාගේ වදන් පසක් කරන්නේ සැබෑ ආදරය ඇත්තේ සියලු ආගම්වලට ඉහළින් බවය. ජීවිතයට උරුම වූ අඳුරු මතකවලින් ගොඩ එන්නට හයිය දුන් ඔහුගේ සෙනෙහස ගැන දර්ශනී මෙසේ කියන්නීය:
“ප්‍රගා ළඟ මම බලාපොරොත්තු වුණු සැබෑ ආදරය තියෙනවා කියලා තේරුම් ගන්න මට කාලයක් ගත වුණත් දෙවියන් මට හොඳම කෙනා දීලා තියෙනවා. විපත තුළින් මගේ ජීවිතයට යහපතක් වුණා කියලා අද මම හිතනවා.”
කාලය හදවතේ තුවාල සහ රිදවුම් සුව කරන හොඳම ඔසුව බව පසක් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 6ක් සපිරෙද්දී එහි වින්දිතයන් වූ බොහෝ දෙනකු අද ජීවිතයට මුහුණ දෙන්නේ දිරිමත් සිතිනි."
සිළුමිණ පුවත්පත ඇසුරෙන්..