මැයි මස 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීමේ කටයුතු අද (16) සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිත අතර එම කටයුතු ලබන 29වනදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.
එසේම, ලබන 20වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන 250කට ආසන්න සංඛ්‍යාවක ඡන්ද විමසීම නියමිත පරිදි ලබන මස 06 වනදා පවත්වන අතර, තහනම් නියෝග නිකුත් කර ඇති ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බවයි එම කොමිසම සදහන් කළේ.
මේ අතර, ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා භාරදෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් යොමුකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කළා.
ඒවා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙසයි එම කොමිසම දේශපාලන පක්ෂ ලේකම්වරුන්, බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද ඡන්දය පැවැත්වෙන නිශ්චිත ආයතන සංඛ්‍යාව හෝ ප්‍රකාශයට පත් කර නොතිබීම කණගාටුවට කරුණක් බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කරුණු දැක්වූ අතර ඒ පිළිබදව ඊයේ (15) විකාශය වූ හිරු දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේද කරුණු අනාවරණ කළා.