මේ කියන්න හදන්නේ අපේ ඉපැරණී ජන ක්‍රීඩාවක විස්තරයක්...
සිංහල හින්දු අළුත් අවුරුදු සමයේ ඉතාම ප්‍රචලිතව පවතින ගෘහස්ථ ජන ක්‍රීඩාවක් ලෙස පංච කෙළිය හැඳින්විය හැකි ය.
“පංච” යනු බෙල්ලන්ට ද්‍රවිඩ භාෂාවෙන් කියන්නා වූ පදයකි. එයින් හැඟවෙන ලෙසටම මෙම ක්‍රීඩාව සඳහා බෙල්ලන් භාවිතා කෙරේ.
අතීතයේදී අප මුතුන් මිත්තන් මෙය පත්තිනි මෑණියන්ගේ ක්‍රීඩාවක් ලෙස පිළිගත් අතර ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව මෙම ක්‍රීඩාවේ යෙදී ඇත. දෙදෙනෙකුට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කළ හැකි මෙහි පංච පෙතේ ස්වභාවය අනුව නීති රීති වෙනස් වේ.
පහේ පෙත්ත සහ දොළොස් පෙත්ත යනුවෙන් පංච පෙත්ත වෙනස් වන අතර මෙම ලිපියේදී පහේ පෙත්ත සමඟ ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් පහත සඳහන් ය.
පහේ පෙත්ත යොදා ගැනිමේදී, කවඩි (බෙල්ලන්) 6ක් සම ප්‍රමාණයෙන් තෝරාගත යුතු ය. බෙල්ලන් සොලවා දැමීමට හා බිම උඩු යටිකුරුව තැබූ පොල් කටු දෙකක් සාමන්‍යයෙන් භාවිතා කළ ද එය අත්‍යාවශ්‍ය නොවේ. මෙසේ සොලවා දමන බෙල්ලන් උඩුකුරුව වැටුණු ගණන “අය” නම් වන අතර කලින් සූදානම් කර ගත් බෙල්ලන් අය තැබීමට යොදා ගනී. ඔණ්ඩුවක් හෝ පංචයක් (1ක් හෝ 5ක්) දැමූ විට “සළු” වූවා යැයි කියයි.
සියළු දෙනාම සළු වීමෙන් පසුව මාරුවෙන් මාරුවට බෙල්ලන් දැමීම සිදු කරයි. මෙසේ දිගටම ක්‍රීඩාව කරගෙන යන අතර, එක ඉත්තෙකු අය 65 බැගින් ගිය පසු ගොඩ දමනු ලැබේ. එහිදී යොදා ගත් සියළු ඉත්තන් ගොඩ දැමූ පසු ක්‍රීඩාව අවසන් වේ.