ඉතිං අවුරුදු සමයේ ඔබට ඒ අපුරු සිරිතේ වගතුග ගෙන එන්නයි මේ බලාපොරොත්තුව....
හිසට සත්කාරයක්
ජ්‍යොතිශයට අනුව නව සූර්ය සංක්‍රාන්තියෙන් පසුව උදාවන මෙම සුවිශේෂී අවස්ථාව පදනම් කර ගෙන ඒ ඒ ග්‍රහයනට වෙන වෙනම ශාක පත්‍ර වෙන්ව තිබෙන බව සඳහන්. ඒ අනුව රවි ග්‍රහයාට ඉඹුල් පත්‍ර ද, සඳුට දිවුල් පත්‍ර ද, කුජට කොළොන් පත්‍ර ද, බුධට කොහොඹ පත්‍ර ද, ගුරුට බෝ පත්‍ර ද, සිකුරුට කරඳ පත්‍ර ද, සෙනසුරුට නුග පත්‍ර ද යොදා ගන්නා බව පැවසෙනවා.
ඒ ඒ අවුරුදුවල ග්‍රහ ගමන් හා නැකැත් උදාවන්ට අනුව හිසතෙල් ගෑමේ දී භාවිත කරන පත්‍ර වර්ග වෙනස් වෙනවා. වර්ෂ 2022 අවුරුද්දේ නැකත්වලට අනුව හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා හිසතෙල් ගෑම කළ යුතු බව සඳහන්.
අප්‍රේල් මාසය යනු අව් රශ්මිය තදින් දැනෙන උණුසුම් මාසයක්. හිරු කිරණ ඉතා තදින් පෘථිවිය මතට පතිත වීම මේ කාලයට සිදුවෙනවා. අව් රශ්මිය ඉතා තද බැවින් මිනිසාගේ ශරීරයේ උෂ්ණත්වය ද ඉහළ නඟිනවා. දහඩිය වැගිරෙනවා. ජ්‍යොතිශයට අනුව මෙසේ පතිත වන හිරුගේ විස කිරණ මිනිස් මොළයට බලපානවා.
සොබා දහමේ මේ විපර්යාසයට පිළිතුරක් ලෙස තමයි සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසට සත්කාරයක් සිදු කරන්නේ. එය හිස තෙල් ගෑමේ මංගල්‍යය යි. මෙම චාරිත්‍රය මගින් අව් රශ්මියෙන් දැඩි ලෙස පීඩාවිඳි හිසටත්, මොළයටත් විරේකයක් ලබා දීම සිදු වෙනවා.
ජීවිතයේ අලුත් පිටුවක් පරිච්ඡේදයක් පෙරළා ගැනීමේ අරමුණෙන් තමයි අලුත් අවුරුද්දේ සුබ නැකතට හිස තෙල් ගෑම සිදු කරවා ගන්නේ. එළඹෙන අවුරුද්දේ නිරෝගී දිවියක් ගත කිරීම මෙන් ම දීර්ඝායුෂ ලැබීම හා ප්‍රඥාව ලැබීමත් එහි අරමුණු වෙනවා.
මිනිසාට අමතර ව හීලෑ අලි ඇතුන්ටත් නිරෝගී සුවය පතා හිසතෙල් ආලේපය සිදු කරනවා. පසුගිය කාලයේ පින්නවල අලි අනාථාගාරයේදීත් අලින්ට හිසතෙල් ආලේපය සිදුවුණා. වැදි ජනතාවත් පසුගිය කාලයේ නැකතට හිසතෙල් ගෑම සිදු කළ බව වාර්තා වුණා.
තෙල් හා නානු
හිසතෙල් ගෑමේ දී ගමේ විහාරස්ථානයට මුල් තැනක් හිමි වුණා. ගමේ පන්සලේ තමයි හිසතෙල් ගෑම සිදුවුණේ. සමහර ගම්වල වෙද මහතාගේ නිවසේදීත් හිසතෙල් ගෑම සිදු කළා. පුරාණයේ දී වැඩි වශයෙන් මේ තෙල් හා නානු සකස් කළේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන් හෝ වෙද මහත්මයා යි. අද නම් ආයුර්වේද දෙපාර්තමේන්තුව නානු හා තෙල් සකස් කර විහාරවලට බෙදා දෙනවා. මහනුවර අවට විහාර දේවාලවලට නානු බෙදාදෙන්නේ දළදා මාලිගාව යි.
හිස තෙල් ගෑමට ප්‍රථම නානු ගෑම සිදු කරනවා. පැරණි වට්ටෝරුවලට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ මෙසේයි:
කලාඳුරු අල, කුංකුමප්පු, සුදුහඳුන්, විශ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන්මුල්, සැවැන්දරාමුල්, නෙළුම්දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග යි. මේ ඔසු 14 සම ව ගෙන තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳගත යුතු යි. ඉන් පසු නුග පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරයට දමා හොඳට කලවම් කළ යුතු වෙනවා. අනතුරු ව පිරිසුදු රෙද්දකින් පෙරාගන්නා අතර එවිට ලැබෙන දියරය ‘නානු’ ලෙස හඳුන්වනවා.
හිසතෙල් සඳහා භාවිත කෙරෙන තෙල් වර්ග හදන්නේ මෙහෙමයි:
තල තෙල්, මී තෙල්, අබතෙල්, කොහොඹ තෙල් හා එඬරුතෙල් එකට මිශ්‍ර කොට ‘තෙල්’ සකසා ගන්නවා.
ඉතිහාසයේ මේ චාරිත්‍රයට ෛතා ඉහළ වටිනාකමක් ලැබුණා... විශේෂයෙන්ම මහනුවර යුගයේදී...
මහනුවර යුගයේ සිංහල රජවරුන් ඉටුකළ අවුරුදු චාරිත්‍රවල වැදගත් තැන හිමිවී තිබුණේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට... ඒ බව 2 වැනි රාජසිංහ රජු සමයේ ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස් සහ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් මෙරටට පැමිණ සිටි වෛද්‍ය ජෝන් ඩේව් විසින් තබා ඇති සටහන්වලින් මනාව පැහැදිලි වෙනවා...
අදද ලංකාවේ ඇතැම් ප්‍රදේශවල අවුරුදු චාරිත්‍රවල වැදගත්ම චාරිත්‍රය ලෙස සලකන්නේ හිසතෙල් ගෑමයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මේ තත්ත්වය දැකිය හැකියි.
ගමේ පන්සලේ නානු පිළියෙල කොට පිරිත් කියා නානු පේ කොට සුභ මොහොතින් ගමේ කවුරුත් පන්සලට එකතු වී හිසතෙල් ගෑමේ චාරිත්‍රය පවත්වා අවුරුදු ගනුදෙනු කොට වැඩ අල්ලන්නේ එයින් පසුවයි.
එම ප්‍රදේශවල බුලත් හුරුළු ගෙන වැඩිහිටියන්, ගුරුවරුන්, නෑයන් හමුවීමට යන්නේද හිසතෙල් ගෑමෙන් පසුවයි.
මහනුවර රජ දවස අවුරුදු සිරිත් පැවැත්වීමේ වැදගත් තැන හිමිවී තිබුණේ දළදා මාලිගයට සහ රජ මාලිගයට...
අවුරුදු නැකැත් පිළියෙල කළේ දළදා මාළිගාවේ නැකැත් රාලයි. හිසතෙල් ගෑම සඳහා නානු පිළියෙල කිරීමට ඖෂධ වට්ටෝරුව නියම කළේ දළදා මාළිගාවේ කාරියකෝරාලයි.
ඔහු ලබාදෙන ඖෂධ වට්ටෝරුව අනුව නානු පිළියෙල කළේ නාථ දේවාලයේයි.
එසේ පිළියෙළ කළ නානු මුට්ටි දහසකට පුරවා වැසුම් යොදා රජ මාළිගයට ගෙන යයි.
අනතුරුව මහනුවර අවට විහාර දේවාලවලට මෙම යුෂ මුට්ටි බෙදා හරිනු ලැබෙනවා.. මෙම චාරිත්‍රයේ වැදගත් තැනක් එදා නාථ දේවාලයට හිමිවී තිබුණ නිසාම වර්තමානයේදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ ප්‍රධාන රාජ්‍ය උත්සවය පවත්වනු ලබන්නේ නාථ දේවාලයේදීයි.
වර්තමානයේදී නාථ දේවාලයේ නානු සෑදීමක් නොකෙරේ. පෙර සිරිතට අනුව දළදා මාළිගාවේ නැකැත්කරුවන් පිළියෙළ කරන නැකතට දළදා මාළිගාවේදීම නානු පිළියෙල කරනු ලැබේ.
අවුරුදු මංගල්‍යය රටවැසියන් විසින් ඉතා වැදගත්කොට සැලකූ බව නොක්ස් සඳහන් කර ඇත. ඔහු සඳහන් කරන්නේ අවුරුදු නැකැත් යෙදීමට මසකට පමණ කලින් සිට රටවැසියන් හා රජතුමා ඒ සඳහා සූදානම් වන බවයි.
රජ මාලිගයේ දොරටුවක් පාසා තොරණ බැඳ සැරැසිලි කළ බව ඔහු සඳහන් කර ඇත.
කණු සතක් හෝ නවයක් මැද කණුව උස්ව සිටින ලෙස සිටුවා හරස් ලී බැඳ එම තොරන් සෑදූ බව දැක්වේ.
වර්තමාන කාලයේද මහනුවර ප්‍රදේශයේ සම්ප්‍රදායික තොරන් සාදනු ලබන්නේ මේ ආකාරයටය.
තොරන්වල දොරටුවෙහි ආරුක්කු බදනා ලද බවත් තොරන් මුදුනේ හරස් ලීවල ගෙඩි වළලු එල්ලා මිනිස්, සිව්පා හා පක්ෂි රූපවලින් යුත් කොඩි බැන්ද බවත් සඳහන් කරයි.
මේ ලෙස සැරැසිලි කොට රජ මාලිගය දෙව් විමනක් ලෙස අලංකාර කළ බවද නොක්ස් සඳහන් කර ඇත.
ඩේව් සඳහන් කරන පරිදි අවුරුදු දා උදෑසන සන්නාහ සන්නද්ධ සේනා මහ පෙළපාලි පවත්වන්නට සූදානම් වෙයි. රජතුමා උදෑසන හිස් සෝදා නා ස්වරණාභරණයෙන් සැරැසී මෙම පෙලපාලි පරීක්ෂා කර බලයි.
මේ මොහොතේ ආචාර වෙඩිමුර පවත්වනු ලැබේ.
හිසතෙල් ගෑමේ නැකත උදාවීමට මොහොතකට කලින් රජතුමා මාලිගයට සැපත් වී සිංහසනාරූඪ වේ.
සුබ මොහොත මහජනයාට දැන්වීමට රජමාලිගාවේ කොඩිතුවක්කු වෙඩි පත්තු කරනු ලැබේ.
රජතුමා සිංහසනාරූඪ වූ පසු තෝරාගත් කන්‍යාවන් කීප දෙනෙක් දකුණතින් බුලත් ද වමතින් කහ දිය හා කැකුළු සහල් බහාලු බඳුන්ද ගෙන රජු දෙපසින් සිටිති. දැල්වූ පොල්තෙල් පහන් පසෙකින් වේ.
නැකැත්කරු විසින් නියම කරන ලද කොළ දෙවර්ගයක් ගෙන එක් වර්ගයක් උඩින් එල්ලන අතර අනෙක් කොළ වර්ගය දෙපතුළට තබනු ලැබෙනවා. රජතුමා සිංහාසනයෙහි හිඳ නියමිත කොළ වර්ගය මත පා තබා වම් අතින් කොළ වර්ගයක් ගෙන දකුණතේ ඇඟිලිවලින් බෙහෙත් දියර (නානු) ස්වල්පයක් ගෙන හිසේ ගා ගනී. කන්‍යාවරු සහ අධිකාරම්වරු මේ අවස්ථාවේ රජුට දීර්ඝායු පතති.
අනතුරුව කිරිබත් සහිතව පිළියෙළ කළ ආහාරය රජතුමා ඉඳුල් කළ පසු සෙසු නිලධාරීහුද ඉඳුල් කරති. ඒ අවස්ථාවේම ගනුදෙනු කිරීමෙන් පසු රජතුමා ජලස්නානයට පිටත්වේ. දිය නා පැමිණෙන රජු බැහැ දැකීමට නිලධාරීහු පැමිණ සිටිති. ඔවුන් රජුට නමස්කාර කළ පසු රජතුමා නිලධාරීන්ද සමඟ දළදා මාළිගාවට ගොස් පුද පූජා පවත්වති.
මෙම විස්තරයට අනුව මහනුවර රජ සමයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය අනෙකුත් සියලුම අවුරුදු සිරිත් අභිබවා මුල්තැන ගත් බව පෙනේ
අන්තර්ජාලයෙන් උපුටාගැනීමක්