"කොහෝ...කොහෝ...
කොහේ ඉඳන් කොහෝ කියනව දෝ
අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනව දෝ..."
අවුරුදු කාලයට අපි කාගේත් මතකයට නැගෙන පක්ෂියෙක් ලෙස කොහා හඳුන්වාදෙන්න පුළුවන්...
"කොහෝ ....කොහෝ .." යනුවෙන් නද දෙන්නේ පිරිමි පක්ෂියා වුවත් බොහෝ පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලවල පළ වන්නේ කොහාගේ රුව නොව එවැනි හඬක් නොනගන කෙවිලියගේ රුව බව පක්ෂීන් පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙනවා...
කොහා සහ කෙවිලිය බාහිර පෙනුමෙන් එක සමාන නැහැ... කොහාගේ මෙන් නොව කෙවිලියගේ බඳ මත පුල්ලි සහ ඉරි දැකගත හැකියි...
කොහා මුළුමනින් ම තද කළු පාටයි... ශරීරයේ නිල්, දම්, කොළ දිස්නයක් තිබෙනවා.. කෙවිලියගේ ශරීරයේ දුඹුරු පැහැති පසුබිමක ලා දුඹුරු හා සුදු ඉරි මෙන් ම ගෝමර දක්නට තිබෙනවා... මොවුන්ගේ ශරීරය දිගටි වන අතර සිහින් දිගු වලිගයක් ඇති අතර, ලා කොළ මිශ්‍ර සුදු පැහැති හොට විශාලයි.. එහි අග මදක් නැමී තිබෙනවා... කොහා සහ කෙවිලිය යන දෙදෙනාගේ ම ඇස් තද රතු පැහැතියි.. පාදවල ඇඟිලි දෙකක් ඉදිරියටත් අනෙක් ඇඟිලි දෙක පසු පසටත් පිහිටයි..
කුරුලු නිරීක්ෂකයෙකු සහ පරිසරවේදියෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන පවසන පරිදි බොහෝ අවුරුදු සුබ පැතුම් සහ දැන්වීම් තුළ දැක්වෙන්නේ, කොහාගේ නොව කෙවිලියගේ රුවයි..
කොහා සහ කෙවිලිය
සිංහල බසින් කොහා හෝ කොවුලා ලෙස හඳුන්වන කුරුළු විශේෂයේ සත්ව විද්‍යාත්මක නාමය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් නම් තුනක් භාවිත කෙරෙනවා...
Western Koel, Asian Koel හෝ Common Koel එම නමයි... මොවුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය Eudynamus scolopacea යි..
කොහාගේ නාදයේ උච්ච අවස්ථාව අසන්නට ලැබෙන්නේ, අප්‍රේල් මාසයේ නොව මැයි මස වෙසක් කාලයේදීයි...
ප්‍රජනන සමයේ වුව ද කොහාගේ නාද කිරීම පරිසර සාධක කිහිපයක් මත රැඳී පවතිනවා... ඒ, උෂ්ණත්වය, වර්ෂාව සහ අහස පැහැදිලි වීම මතයි... මේ වසරේදී කපුටන් කැදලි තැනීම ආරම්භ කිරීම මදක් ප්‍රමාද වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.. (කෙවිලිය බිත්තර දමන්නේ කපුටු කූඩු මතය). එම තත්ත්වය අනුව චර්යාව අධ්‍යයනයේදී පෙනී යන්නේ අවුරුදු කාලයෙන් පසුව කොහාගේ නාද කිරීමේ වර්ධනයක් ඇති වන බවයි...
අප්‍රේල් අවසානයේදී නාදය අඩුවී මැයි මාසයේ වෙසක් පොහොය ආසන්න වන විට එය උච්ච අවස්ථාවට පත් වන බව ජගත් ගුණවර්ධන පෙන්වා දෙනවා...
අතුපතර සැඟවී වැඩි කාලයක් ගත කිරීමට කොහා ප්‍රිය කරනවා.. ප්‍රජනන සමයේදී නාද කළ ද අනෙක් කාලවල නිහඬ ජීවිතයක් ගත කරන බැවින් කොහා යනු අවුරුදු කාලයේදී ශ්‍රී ලංකාවට එන සංක්‍රමණික කුරුල්ලෙකු ලෙස මුතුන්මිත්තෝ විශ්වාස කළා... මොවුන් බිමට බසින්නේ කලාතුරකින්.. පෙරවරු කාලයේදී අව්ව තැපීමට ප්‍රිය කරන කොවුලා පලතුරක් ආහාරයට ගන්න විට ඉතා කෑදර බවක් පෙන්වයි... නාගරික ගෙවතුවල ද වදුළු තුළ සැඟවී ජීවත් වෙනවා
කෝකිල කුලයට (Family Cuculidae) අයත් කුරුලු විශේෂ 12 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා.. ඒ අතරින් වඩාත් සුලබ හා පුළුල් පැතිරීමක් දක්නට ලැබෙන්නේ කොවුලන් විශේෂයයි..
සඳ එළියේ ගී ගැයීම
කොවුලන්ගේ ප්‍රජනනය කපුටන්ගේ ප්‍රජනනය හා බැඳී පවතිනවා.. එබැවින් කපුටන් වසරේ බිත්තර දමන අවස්ථා ගණන වැඩි වීමත් සමග කොවුලන්ගේ චර්යාව ද වෙනස් වී ඇතැයි කුරුලු නිරීක්ෂකයන්ගේ වාර්තා අනුව පෙනී යයි.. මේ තත්ත්වය මත අතීතයේදී අවුරුදු කාලයට නාද කළ කොහා මේ වන විට වසරේ අවස්ථා කිහිපයකදී නාද කරනවා.. එම නාදය වඩාත් උච්ච වන්නේ, කපුටන් කැදලි තනා බිත්තර දමන කාලය ළඟා වන විටයි... ප්‍රජනන සමයේදී දිවා කාලයේ මෙන් ම සඳ එළිය ඇති රාත්‍රී කාලයේ ද කොහාගේ නාදය අසන්නට ලැබෙනවා..
කපුටු නුවණ පරදන උපක්‍රම
කපුටා බුද්ධිමත් කුරුල්ලෙකු බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.. කළයක පතුලේ තිබූ ජලය පානය කිරීම සඳහා ගල් කැට ගැනවිත් දමා ජලය ඉහළට පැමිණි පසු දිය පානය කළ බව එක් ජනප්‍රවාදයක කියවෙනවා..
එහෙත් එක් අවස්ථාවකදී කපුටාගේ නුවණ කොහාට පරදින බව පක්ෂීන් පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙනවා...
කපුටන් සාදන කැදලිවල බිත්තර දැමීම සඳහා කෙවිලියට අවස්ථාව උදා කර දෙන්නට කොවුලා අපූරු උපක්‍රමයක් අනුගමනය කරන බව ප්‍රවීණ කුරුලු නිරීක්ෂකයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි...
කොහා කපුටු කැදලි අසල ගී ගයන විට කපුටා ඊට ඉඩ නොදෙයි. එහිදී කපුටන් සිදු කරන්නේ, කොවුලා පසුපස හඹා ගොස් පහර දීමයි.. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා කෙවිලිය කපුටන් නැති අතරේ කැදැල්ල තුළ බිත්තර දමා පළා යයි..
කොවුල් පැටවුන්ට සහජයෙන් ම උරුම වන ගතියක් නම් පාදවල ගැටෙන ඕනෑ ම දේකට තදින් පහර දීමේ හැකියාවයි.. කොවුල් පැටවුන් කුඩා අවදියේ දිවි ගෙවන්නේ තම මවුපියන් සමග නොවන නිසා ඊට මුහුණ දීමට ආක්‍රමණශීලි චර්යාවන් උපතින් ම හිමිව තිබෙනවා.. එනම් වැඩිපුර අහාර ගෙන කපුටු පැටවුන්ට වඩා වර්ධනය වීමයි..

අන්තර්ජාලය ඇසුරෙන්..