දෙවුන්දර සිදුවූ ද්විත්ව ඝාතනය, විදේශයක සැඟව සිටින දෙහිබාලේ මල්ලී නැමැත්තාගේ සහෝදරයා හා යොමේෂ් නදීෂාන් නැමැති තරුණයා අතර ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් මියගිය යොමේෂ් නදීෂාන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණු අතර සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු වන කසුන් හෙවත් බිල්ඩර් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ වෑන් රථයිකින් පැමිණි පිරිසක්, රුණයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබුණේ පසුගිය 21වනදා රාත්‍රියේදීයි.
එළෙස මියගියේ 28 හැවිරිදි යොමේෂ් නදීෂාන් හා 29 හැවිරිදි පසිඳු තාරුක නැමති තරුණයින් දෙදෙනායි.
වෙඩික්කරුවන් සහ යොමේෂ් නදීශාන් කලක් සමීපව කටයුතු කර ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් පසුව ඔවුන් විරසක වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
යොමේෂ් නදීශාන්ට එරෙහිව අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය යොමේෂ් නදීශාන් වූ අතර ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් පසිඳු තාරුක කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතිනවා.
අදාළ කාන්තාව වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කෙරෙන කසුන් හෙවත් බිල්ඩර් නැමැති පුද්ගලයාගේ බිරිඳ වනවා.
අදාළ පුද්ගලයා යුද හමුදාවෙන් පලා ගිය අයෙකු වන අතර ඔහු දෙහිබාලේ මල්ලී නැමැත්තා ලබා දුන් රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත අදාළ ඝාතන සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මිය ගිය යොමේෂ් නදීශාන්ට දෙහි බාලේ මල්ලී නැමැත්තා දිගින් දිගටම තර්ජනාත්මක පණිවුඩ එවා ඇති අතර ඔහුගේ පියාටද බාලේ නැමැත්තා විසින් සිය පුත්‍රයාව ඝාතනය කරන බවට වන තර්ජනාත්මක පණිවුඩ එවා තිබුණා.