ජ්‍යොති යනු ආලෝකය හෙවත් බැබළීම යන අරුත දෙනවා...
ජෝතිෂ්‍යය යනු ලංකාවේ බොහෝදෙනාට උපන් මොහොතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකටම බලපෑම් කරන්නක් බවට පත්ව තිබෙනවා...
නම් තැබීම, හිසකෙස් කැපීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම, සිට මරණය දක්වා ජෝතිෂ්‍යය මිනිස් ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇතිකරනවා... ඉතිං මේ කියන්න හදන්නේ සෙනසුරු ග්‍රහයා ගේ ගමන් මග ගැන ජෝතිෂ්‍යයට අනුව සිදුවන සිදුවීම් ගැන පැහැදිළි කිරීමක්... වසර 30කට පසු සෙනසුරු මීනයට රටට මොනවා වෙයිද? මේ කියන්න හදන්නේ අන්න ඒ ගැනයි...
2025 මාර්තු 29 වැනි දිනෙන් පසු සෙනසුරු ග්‍රහයා මීන රාශියේ ගෝචර වන අතර 2027 ජුනි මස 09 වැනි දින දක්වා එම රාශියේ ගමන් කරයි. මෙම ගෝචර වීම ගුරු ග්‍රහයාට අයත් පුවපුටුප නැකැතේ සිදුවන අතර, සෙනසුරු ග්‍රහයා ගෝචර වන මීන රාශියද ගුරු ග්‍රහයාට අයත් වීම නිසා අධ්‍යාපන අංශයන්හි වෙනස්කම් කෙරෙහි බලපවත්වයි.
පොදුවේ ලග්න වශයෙන් විමර්ශනය කරන විට පෙනී යන්නේ මකර ලග්න හිමියන්ට වසර හතහමාරක් ගෙවූ ඒරාෂ්ටකයෙන් අත්මිදීමටත්, කුම්භ ලග්න හිමියන්ට හිසට බරක් වූ ඒරාෂ්ටකයේ ප්‍රබල බලපෑම අවමවීමත්, විශේෂයෙන් කටක ලග්න හිමියන් ගෙවන ලද අෂ්ටම ඒරාෂ්ටකය අවසාන වීමත් නිසා මෙම ලග්න හිමියන්ට මෙතෙක් කාලයක් මුහුණ දීමට සිදුවූ බොහෝ අසහනකාරී, පීඩාකාරී ගැටලුවලින් අත්මිදීමට අවස්ථාව උදාවීමයි.
මේෂ ලග්න හිමියන්ගේ දොළොස්වැන්නට සෙනසුරු ගෝචර වීම වසර හත හමාරක ඒරාෂ්ටකයේ ආරම්භයයි. සිංහ ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වන අතර එය ස්ථානීය වෙනසකට හේතුවේ. තුලා ලග්න හිමියන්ගේ හයවැන්නට සෙනසුරු පැමිණීමෙන් හදිසි විපත්, රෝගීවීම් ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතු කාලයකි. මීන ලග්න හිමියන්ගේ ලග්න ඒරාෂ්ටකය ආරම්භ වීම හේතුවෙන් මානසික පීඩාවන් ඇති වීමට එය හේතු වේ.
ලංකා කේන්දරයට අනුව බැලීමේදී කුම්භ රාශියේ දෙවැන්නේ සෙනසුරු ගෝචර වීම රාජ්‍ය මූල්‍ය හා බැංකු පද්ධතිය, රාජ්‍ය භාණ්ඩාගාරය, දේශීය සහ විදේශීය වාණිජ කටයුතු කෙරෙහි බලපවත්වයි. සෙනසුරු ග්‍රහයා මීන රාශි ගතවන මොහොතේ රාහු ග්‍රහයාද 2025 වර්ෂයේ මැයි මස 18 වැනි දින දක්වා ගෝචර වී සිටී.
2025 මාර්තු 29 වැනි දින සිට 2025 මැයි මස හය වැනි දින දක්වා සෙනසුරුගේම නැකත්වල ගමන් කරමින් බුධ සහ සිකුරු යන ග්‍රහයන් මීන රාශියේ නීචභංග රාජ යෝගයක් සහිතව ගෝචර වීම සිදුවේ. එසේ වුවද මෙම රාශියේ නෙප්චූන් ග්‍රහයාද ගෝචර වී සිටී. වංචනික සිදුවීම් සහ කුමන්ත්‍රණකාරී ක්‍රියා සිදුවීමෙන් මහජන සුබසිද්ධිය උදෙසා වැඩ කිරීමට තරම් රාජ්‍ය තුළ පෙලඹවීමක් ඇති නොවේ.
පාර්ලිමේන්තුව සහ නව නීති අණපනත් සම්පාදනය නිවේදනය කරන්නාවූ එකොළොස්වැනි භාවය නියෝජනය කරන ගුරු ග්‍රහයා 2025 05 14 වැනි දින දක්වා තිර රාශියක් වූ වෘෂභ රාශියේ එනම් ලංකා කේන්දරයට අනුව සිවුවැනි භාවයේ ගෝචර වී සිටීමෙන්ද කේතු ග්‍රහයාගේ පස්වැනි දෘෂ්ටිය ලැබීමෙන්ද ගුරු ග්‍රහයා පාප කර්තරී වීම හේතුවෙන් ගොවිතැන් පාළු වීම, ජලයෙන් පීඩා ඇති වීම මෙන්ම පතල් කර්මාන්තයේ විපත් සිදුවීමටද හේතුවනු ඇත.
2025 මැයි මාසය වන විට රටේ ආර්ථිකය අයහපත් තත්ත්වයකට පත්වීමෙන් වංචනික ක්‍රියා බහුල වීමටත් ජනතා අප්‍රසාදය බහුල වීමටත් ඉඩ තිබේ. මේ ආකාරයේ පරිසරයක් නිර්මාණය වීම හේතුවෙන් රාජ්‍ය අංශයන්හි ආදායම් මාර්ග අවහිර වනු ඇත. මේ නිසා මහජනතාවට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවෙයි.
උපුටාගනීමකි.
මව්බිම තරුපති අතිරේකය..