දෙවුන්දර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද පොලිසියට අවසර ලබාදුන්නා.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු මිය ගිය අතර, ජීවිතක්ෂයට පත් වූයේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි යොමේෂ් නදීෂාන් හා 29 හැවිරිදි පසිඳු තාරුක නම් දෙදෙනායි.
ඔවුන් මිතුරෙකුගේ නිවසේ පැවැති මත්පැන් සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ආපසු යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් යතුරු පැදියේ ගැටීමට සලස්වා, වෑන් රථයෙන් බැස ආ පිරිසක් ඔවුන් දෙදෙනාට වෙඩි තබා තිබූ බව පොලිසිය සඳහන් කළා.
අනතුරුව දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපසදී වෑන් රථයෙන් පැමිණි පිරිස ඔවුන්ට වෙඩි තබන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
පොලිසිය පැවසුවේ, ශෙහාන් සත්සර හෙවත් දෙහිගෙදර රංග සහ ඔහුගේ සොහොයුරා වන දෙහි බාලේ නමැති පුද්ගලයින්ගේ මෙහෙයවීම මත මෙම ඝාතන සිදුව ඇති බවට සැක පළ කරන අතර යොමේෂ් නදීෂාන් නමැත්තාට පසුගිය කාලයේම ඔවුන්ගෙන් මරණ තර්ජන ද එල්ල වී තිබූ බවයි.
වෙඩික්කරුවන් සහ යොමේෂ් නදීශාන් කලක් සමීපව කටයුතු කර ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් පසුව ඔවුන් විරසක වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
යොමේෂ් නදීශාන්ට එරෙහිව අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය යොමේෂ් නදීශාන් වූ අතර ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් පසිඳු තාරුක කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාගේ බිරිඳ ද ඒ අතර වනවා.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අද පස්වරුවේ මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ලබන 29 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව සැකකරුවන් සිව් දෙනා මාතර, කොටවිල, මාලිම්බඩ සහ තිහගොඩ යන පොලිස් ස්ථානවල රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය යොමේෂ් නදීෂාන්ගේ දේහය ඊයේ රාත්‍රීයේ ඔහුගේ නිවසට රැගෙන ආ අතර මියගිය පසිඳු තාරුකගේ දේහය අද රාත්‍රීයේ ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතයි.
VIDEO