දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද අවසර ලබා දුන්නා.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.
ඔවුන් මාතර වැඩබබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත්තේ.
මේ අතර සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ඝාතන ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවයි.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු මිය ගිය අතර, ජීවිතක්ෂයට පත් වූයේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි යොමේෂ් නදීෂාන් හා 29 හැවිරිදි පසිඳු තාරුක නම් දෙදෙනායි.
ඔවුන් මිතුරෙකුගේ නිවසේ පැවැති මත්පැන් සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ආපසු යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් යතුරු පැදියේ ගැටීමට සලස්වා, වෑන් රථයෙන් බැස ආ පිරිසක් ඔවුන් දෙදෙනාට වෙඩි තබා තිබූ බව පොලිසිය සඳහන් කළා.
මියගිය යොමේෂ් නදීෂාන් නමැත්තාට එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසුවේ, දෙහිගෙදර රංග නැමැත්තෙකුගේ මෙහෙයවීම මත මෙම ඝාතන සිදුව ඇති බවට සැක පළ කරන අතර යොමේෂ් නදීෂාන් නමැත්තාට පසුගිය කාලයේ මරන තර්ජන ද එල්ල වී තිබූ බවයි.
සිද්ධියෙන් මියගිය පසිඳු තාරුක නමැත්තා කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගවට ගත් අතර, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ ඝාතන ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවටයි.