මාතර, දෙවුන්දර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදු වූ වෙඩි තැබීම ඩුබායි හි සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ''බාලේ මල්ලි'' නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මෙම වෙඩි තැබීමෙන් 28 හා 29 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය ගිනි තබා තිබියදී සොයා ගැනුණා.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ රාත්‍රී 11.45ට පමණ වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කරමින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.
ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු තරුණයින් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි අසල්වැසි මිතුරන් වූ 28 හැවිරිදි යොමේෂ් නදීෂාන් හා 29 හැවිරිදි පසිඳු තාරුක නම් දෙදෙනායි.
ඔවුන් දෙදෙනාට දෙවුන්දර ප්‍රදේශයේ නිවසක පැවැති මිතුරෙකුගේ උපන්දින සාදයකට ඊයේ ඇරයුම් ලැබී තිබූ නමුත් ඔවුන් එම නිවසට නොයා ඒ අසල පිහිටි තවත් මිතුරෙකුගේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.
එම නිවස අසලටද වෙඩික්කරුවන්ගේ වෑන් රථය පැමිණෙන අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබූ අයුරුයි මේ.
වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ඔවුන් තරුණයින් දෙදෙනා මත්පැන් සාදය අවසන් වීමෙන් පසු යළි සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදීයි.
තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය පසුපසින් වෑන් රථයෙන් පැමිණි වෙඩික්කරුවන් එය යතුරුපැදියේ හප්පා අනතුරුව වෙඩිතබා ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ තිබි ටී-56 උණ්ඩ කොපු 39ක්, හා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 03ක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි දෙවුන්දර වරාය මාර්ගයේ ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
එම වෑන් රථය තුළ තිබී ටී-56 ගිනි අවි සඳහා යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය විසින් අද අළුයම සිදු කළා.
VIDEO
ඩුබායි හි සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් බාලේ මල්ලි නම් අපරාධකරු විසින් මෙම ඝාතනය මෙහෙයවා.
ඇති බවට පොලිසිය සැක පළ කරන අතර මියගිය යොමේෂ් නදීෂාන් නමැත්තාට ඔහු මීට පෙර ''ඔය මුළු පවුලම මරනවා'' ලෙස දුරකථන පණිවුඩයක් එවා ඇති බවයි වාර්තා වන්නේ.
බාලේ මල්ලි නමැත්තා සහ මෙම තරුණයින් දෙදෙනා අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටද පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගවට ගනු ලැබුවා.
මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු දේහයින් ඔවුන්ගේ පවුලේ ඥතීන් වෙත භාර දීමට නියමිතයි.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 26කින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.