දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ තරුණයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව ඩුබායි හි සැඟව සිටින අපරාධකරුවෙකු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළා.
බාලේ මල්ලි නම් අපරාධකරු සමග ඝාතනයට ලක් වූ තරුණයන් දෙදෙනා ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැකකරනවා.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩිතැබීම සිදු වී තිබුණා.
ටී-56 වර්ගයේ ගිනිඅවියකින් හා පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර වෙඩික්කරුවන් පලාගොස් තිබු අතර වෙඩිප්‍රහාරයෙන් අදාළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී ටී-56 උණ්ඩ කොපු 39ක් හා මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ කොපු 2ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔහුන් දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩිතැබීම සිදුව තිබුණා.
වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ ස්ථානයේදී මෙම තරුණයන් දෙදෙනා ගමන්කරමින් සිටි යතුරුපැදිය, තම රිය ගැටීමට සලස්වා වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසන්නේ.
වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය ඝාතනය වූ ස්ථානයට මීටර 800ක් පමණ දුරින් වූ අතුරු මාර්ගයක දමා ගිනිතබා තිබියදී පොලීසිය විසින් පසුව සොයාගනු ලැබුවා.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා අද අළුයම සිදු කළා.