නිරෝගිකම උතුම්ම ලාභය කොට සැලකුවද උදෑසන අවදි වූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී කටයුතු කරන කාන්තා ඔබට ඉඳහිට හෝ පීඩා දෙන අත පය හිරිවැටීම් වැනි තත්ත්වයන්ගෙන් ගැල වී ඉන්නට අවස්ථාවක් නොමැති තරම්.
වර්තමාන කාන්තාවන් අතර වයස් භේදයකින් තොරව සුලබව දැකිය හැකි මෙම අතපය, හිරිවැටීමේ රෝගී තත්ත්වය සුළු කොට තැකුවද? එය භයානක රෝගයක පෙරනිමිත්තක් විය හැකියි.
එබැවින් මේ ඔබ වෙත ගෙන එන්නේ කාන්තාවන් බහුතරයකට පීඩා ගෙන දෙන මෙම අත පය හිරිවැටීමේ රෝගයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලින් සහනයක් ලබාගත හැකි ක්‍රම පිළිබඳවයි.
මොකක්ද මේ හිරිවැටීම?
විශේෂයෙන්ම මේ හිරිවැටීම කොටස් දෙකකට වෙන් කළ හැකි අතර එය එක් අතක් හෝ අත් දෙකේම පෙන්නුම් කරන හිරිවැටීම් තත්ත්වයන් හා පාදයේ හෝ පාද දෙකේම පෙන්නුම් කරන හිරිවැටීමේ තත්ත්වයක් ලෙස එය බෙදා වෙන් කළ හැකිය.
අත ආශ්‍රිතව පෙන්නුම් කරන හිරිවැටීම් තත්ත්වයේදී ඇතැම් අවස්ථාවල මෙය මුළු අත පුරාවට පැතිරෙන හිරිවැටීමේ තත්ත්වයක් ලෙසිනුත්, තවත් අවස්ථාවකදී මැණික් කටුවෙන් පහළට ඇඟිලි ආශ්‍රිතව හා අත්ල ආශ්‍රිතව ඇති වෙන හිරිවැටීමේ තත්ත්වයක් ලෙසිනුත් හඳුනාගත හැකියි.
ඇතැම් අවස්ථාවකදී මෙම හිරිවැටීමේ තත්ත්වය උරහිසේ සිට ඇඟිලි දක්වා විහිදිය හැකි අතර තවත් විටකදී ඇඟිල්ලක්, ඇඟිලි කිහිපයක් හෝ අත්ල ආශ්‍රිතව සිදුවිය හැකිය.
එමෙන්ම පාද ආශ්‍රිතව සිදුවන හිරිවැටීමේදීද ඇතැම් පුද්ගලයන්ට මෙය එක් පාදයකට පමණක් වැලඳෙන අතර ඇතැම් අයට පාද දෙකටම වැලඳී තිබෙනු දැක ගත හැකි වේ.
හිරිවැටෙන්නේ ඇයි?
විශේෂයෙන්ම මෙම අත් හිරිවැටීම ගත් කල අත්ල හා ඇඟිලි ආශ්‍රිතව පමණක් සිදුවන හිරිටැවීමට හේතුව වන්නේ අත්ලට ස්නායු ගෙන යන ස්නායු පර්යන්ත පද්ධතිය මැණික්කටුව ආසන්නයෙන් තෙරපීමකට ලක් වීමයි. වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය Carpal Taunnel Syndrome (කාර්පල් ටනල් සින්ඩේරාම්) ලෙසින් හැඳින්වේ.
එමෙන්ම අත පුරා දැනෙන හිරිගතිය උදාහරණයක් වශයෙන් උරහිසේ සිට ඇඟිලි දක්වා හෝ උරහිසේ සිට වැළමිට දක්වා සිදුවන හිරිවැටීමේ තත්ත්වයන්ට හේතුව වන්නේ ගෛ්රයිවී කශේරුකා ආශ්‍රිතව අන්තර් කශේරුකා මඬල, ඉදිමුමකට හෝ තොරපීමකට ලක්වීමයි.
මෙහිදී ගෛ්රයිවී කශේරුකා ලෙසින් හඳුන්වනු ලබන්නේ හිස් කබලේ සිට ගෙල ප්‍රදේශය දක්වා තිබෙන කශේරුකාවල කොටස් හත වන අතර මෙම තත්ත්වය උද්ගත වීමට බෙහෙවින්ම බලපානු ලබන්නේ වැරදි ඉරියව් රටාවකට හුරු වී තිබීමය.
එමෙන්ම පාද හිරිවැටීම සම්බන්ධයෙන් ගත් කල මෙම හිරිවැටීමේ ලක්ෂණ එක් පාදයක මෙන්ම පාද දෙකෙහිමද දැක ගත හැකි අතර එයට බලපානු ලබන්නේද ගෛ්රවීය කශේරුකා ආශ්‍රිතව ඉදිමීමකට හෝ තෙරපීමකට ලක් වීමේ තත්ත්වයයි. පාද සම්බන්ධයෙන් ගත් කල ඊට අමතරව කඨී කශේරුකා එනම් කොඳුඇටපෙළ ආශ්‍රිතව ඇති කශේරුකා පහේ ඇතිවන ඉදිමුමක් හෝ තෙරපීමකට ලක්වීමේ තත්ත්වයද බලපානු ලබයි.
හිරිවැටීම අනතුරු ඇඟවීමක්ද?
අත පය හිරිවැටීමවලට ලක්වෙන බොහෝ දෙනාගෙන් මතුවන ප්‍රශ්නයක් වන්නේ මෙය භයානක රෝගයක පෙරනිමිත්තක්ද යන්නයි.
මෙහිදී පෙර සඳහන් කළ පරිදි කාර්පල් ටනල් සින්ඩේරාම් තත්ත්වය හේතුවෙන් හා කඨී කශේරුකා හා ගෛ්රවීය කශේරුකා ආශ්‍රිතව ඇති වන ගැටලුකාරී තත්ත්වයන්ට අමතරව මස්තිෂ්ක කොටස් රුධිර සැපයුමට සිදුවන බාධාවක් හේතුවෙන් හා එහි පාලනය ගිලිහීම තුළින්ද හිරිවැටීම සිදුවිය හැකිය. ගැටලුව වන්නේ එවැනි තත්ත්වයකදී බොහෝ විට රෝගියා අංශභාග තත්ත්වයකට ලක් වීම සිදුවීමයි.
ඊට අමතරව දියවැඩියා රෝගීන් හටද? මෙම හිරිවැටීමේ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි අතර දියවැඩියා රෝගීන් තුළ බහුලවම දැකිය හැකි වන්නේ යටිපතුළ ආශ්‍රිතව සිදුවන හිරිවැටීමේ තත්ත්වයයි.
හිරිවැටීමට ලක්වන්නන් උදෙසා තිබෙන දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් කතා කරන විට රෝග මූලය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වන බව කිව යුතුය.
දේශීය වෛද්‍ය ක්‍රමය හරහා තෙල් ආලේපනය, පත්තු බැඳීම හා තැවීමට ලක් කිරීම වැනි සරල ක්‍රම හරහා මේ සඳහා ප්‍රතිකාර ලබා දෙන අතර විශේෂයෙන් අන්තර් කශේරුකා මඬල ආශ්‍රිතව ඇති ඉදිමීම් හා තෙරපීම් 80% වඩා අඩු මට්ටමක ඇති විට එම ප්‍රතිකාර ක්‍රම වඩාත් සාර්ථක වේ.
මෙහිදී දේශීය වෛද්‍යවරුන් සාම්ප්‍රදායික හා නවීන ක්‍රම භාවිත කිරීම තුළින් රෝග මූලය හඳුනා ගන්නා අතර ප්‍රතිකාර ක්‍රමය තීරණය කෙරෙනුයේ ඉන් අනතුරුවයි.
බාහුවල හිරිවැටීම් රෝගීන් සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවේදී භාවිත කරනු ලබන ක්‍රමය වන්නේ ප්‍රදාහ නාශක ඔෟෂධ ආලේපනය තුළින් ඉදිමීමකට හෝ තෙරපීමකට ලක්ව ඇති අන්තර් කශේරුකා මඬල ස්වාභාවික තත්ත්වයට පත් කිරීමයි.
එහිදී භාවිත කරන ඔෟෂධ හා ප්‍රතිකාර ක්‍රමය රෝග විනිශ්චයක් මත වෙනස් වේ.
විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට ඇති වන හිරිවැටීම්වලදී දේශීය වෛද්‍ය විද්‍යාවේදී ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර කරනු ලබන්නේ රෝග මූලය හෙවත් දියවැඩියාවට ප්‍රතිකාර කිරීමයි.
ඊට අමතරව අදාළ ඔෟෂධ ආලේප කොට මෘදු ලෙස සම්බාහනය කිරීමද සිදු කරනු ලබයි.
එමෙන්ම ළඟ ළඟ එන අංශභාග රෝග තත්ත්වයක ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරන හිරිවැටීමේදීද වෛද්‍යවරයාගේ රෝග විනිශ්චය මත රෝග මූලයට ප්‍රතිකාර කිරීම තුළින් බොහෝදුරට රෝගියාට එම රෝගයෙන් ගැලවීමේ වාසනාව හිමිවේ.
හිරිවැටීම නිට්ටාවට සුව කළ හැකිද?
හිරිවැටීමට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළින් නිට්ටාවට සුවය ලබා ගත හැකිද යන්න බොහෝ දෙනාට පවතින ගැටලුවකි.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ රෝග ලක්ෂණ මතු වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින් වඩාත් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හේතුවක් විය හැකි බවයි.
විශේෂයෙන් ආරම්භක අවධියේදී තෙල් ආලේපනය වැනි සරල ප්‍රතිකාර ක්‍රම තුළින් හිරිවැටීම නිට්ටාවට සුව කළ හැකි අතර අන්තර් කශේරුකා මඬල ආශ්‍රිතව ප්‍රදාහ තත්ත්වයන් සියයට අසූවකට වඩා වැඩි අවස්ථාවකදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන තෙල් ආලේපනය, පත්තු බැඳීම හා තැවීම වැනි ක්‍රමවලින් රෝග සුව කර ගැනීම තරමක් අසීරු හා කාලය ගතවන ක්‍රියාවලියක් බවද කිව යුතුය.
එබැවින් රෝගීන් තමාට රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවධියේම නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වන්නේ නම් බරපතළ ප්‍රතිකාර ක්‍රම වෙත යොමු නොවී ඉතාමත් පහසු ක්‍රම හරහා රෝගය සුවපත් කර ගැනීමට හැකියාව ලබා ගත හැකිය.
උපුටා ගැනීමක්...