ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ගුවන් යානයක් අද උදෑසන වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටීමට ලක් වුණා.
කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ සඳහන් කළේ.
එය කඩා වැටෙන මොහොතේ නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් පාදෙණිය ප්‍රදේශයට බැස තිබුණා.
ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කළේ.
පොල්වත්තක් වෙත කඩා වැටුණු මෙම ගුවන් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබු අතර සිද්දිය ඇසින් දුටුවන් ඒ ගැන මෙලෙස අදහස් පල කරනවා....
"හරියටම උදේ 7.55යි. සාමාන්‍ය විදිහට ප්ලේන් එකක් යන සද්දයක් ඇහුනා. ඊට පස්සේ අපි එළියට බැහැලා බැලුවා. ඒ බලාගෙන ඉද්දි එක පාරටම ප්ලේන් එකේ සද්දේ වැඩි වුණා. වැඩි වුණාට පස්සේ එක පාරටම ප්ලේන් එකේ දකුණු අත පැත්තෙන් එක පාරටම ලොකු සද්දයක් ආවා. ඒකත් එක්කම ප්ලේන් එක පැත්තට බර වුණා. ඊට පස්සේ අනිත් පැත්තෙනුත් ඒ වගේම සද්දයක් ආවා. ඊට පස්සේ ප්ලේන් එක තද වේගෙන් එක පාරක් කැරකුනා. දිගටම එකම විදිහට කැරකිලා එක පාරටම ලෑන්ඩ් කළා. ඊට පස්සේ තමයි පැරිෂුට් දෙකක් ඒකෙන් එළියට ආවේ.''