මුතූර්, තහානගර් ප්‍රදේශයේ නිවෙසක එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු කපා කොටා ඉතා අමානුෂික ලෙස ඉකුත්දා ඝාතනය කර තිබිණි.
මෙලෙස මරා දමා තිබුණේ වයස අවුරුදු 68ක රාජේශ්වරි සහ වයස අවුරුදු 74ක රාජකුමාරි යන වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනාය. මෙම දෙදෙනාම අවිවාහක කාන්තාවන් වූ අතර එක් කාන්තාවක් විශ්‍රාමික ගුරුවරියක් වන අතර අනෙක් කාන්තාව හෙද නිලධාරිනියක් වූවාය. මුතූර් පොලිසියට කිසිවකු විසින් දෙන ලද දුරකථන පණිවුඩයකට අනුව මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ඉකුත් 14 වැනිදා අලුයම තහානගර් ගම්මානයට ගිය අතර නිලධාරීන් එම ස්ථානයට යන විටත් එම කාන්තාවන් දෙදෙනාම මියගොස් සිටිනු දක්නට ලැබිණි.
සිද්ධිය නිරීක්ෂණය කළ මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර මුතූර් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සොකෝ, ඇඟිලි සලකුණු නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට ගෙන්වනු ලැබීය.
මුතූර් පොලිසියේ සිට කිලෝමීටර් 1/2ක් පමණ දුරින් තහානගර් ගම්මානය පිහිටා ඇති අතර වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා මෙලෙස ඝාතනය කිරීම නිලධාරීන්ට මෙන්ම ගම්වැසියන්ටද මහත් ප්‍රශ්නයක් ගෙන දුන්හ.
පොලිසිය විමර්ශන අරඹන්නේ ඒ ඔස්සේය. ඒ අවට පදිංචිකරුවන්ගෙන් තොරතුරු විමසීමේදී ඔවුන් පොලිසියට පවසා සිටියේ නිවෙසේ තුවාල ලබා සිටි කුඩා දැරියක්ද මුතූර් රෝහලට ඇතුළත් කළ බවය.
සොකෝ නිලධාරීන් විසින් ඝාතනය සිදුවූ නිවෙස දැඩි නිරීක්ෂණයට ලක්කළ අතර මැරුම් කෑ කාන්තාවන් දෙදෙනාගේ සිරුරුවලින් ගලාගිය රුධිරයෙන් ඒ අවට පොළොව තෙත්වී තිබිණි.
කාන්තා සිරුරු දෙක සාලය මැද වැටී තිබිණි. එක් කාන්තාවකගේ සිරුර පුරා කැපුම් තුවාල හතළිස් ගණනකි. අනෙක් කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල 16කි. එක් කාන්තාවකගේ අත කපා දමා ඇති අයුරුද නිලධාරීන්ට නිරීක්ෂණය විය. කිසිවකුගේ දත් පහරද ඇගේ අතේ සටහන් වී තිබිණි. ඝාතකයා එම කාන්තාව හැපුවේ ඇයිද යන්න නිලධාරීන්ට මතුවූ තවත් සැකයකි. ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක විය.
හොඳින් නිරීක්ෂණය කිරීමේදී එම රුධිය මත සෙරෙප්පුවක අඩි සටහන් වී ඇති අයුරු නිලධාරීන්ට පෙනිණි. එම සෙරෙප්පු අඩිවල ඇති ගෙවී ගිය කට්ටා සලකුණු විසිරී ගිය රුධිරය සමඟ මුසුව තිබූ අතර එම සටහන් නිවෙසේ මුළුතැන්ගෙය මෙන්ම වැසිකිළිය දක්වාම ඇදී ගොස් තිබෙන අයුරු නිලධාරීන්ට පෙනිණි.
මේ නිසා අපි සැක කළා මේ ගැහැනු දෙන්නා මරලා දාපු කෙනා දාගෙන සිටි සෙරෙප්පුවේ සලකුණු තමයි ඒ තියෙන්නේ කියලා.
විමර්ශන නිලධාරියකු සඳහන් කළේය. ඒ ඔස්සේද විමර්ශන ඇරැඹිණි.
මෙහිදී පොලිස් කණ්ඩායම තවත් කරුණු කිහිපයක් සොයා ගත්තේය. තහානගර් ගම්මානයේ පිහිටි මෙම නිවෙසේ පදිංචිව සිට ඇත්තේම කාන්තාවන් සිවුදෙනකු බවය. ඉන් දෙදෙනකුම එකම පවුලේ අක්කා නඟෝය. මරා දමා ඇත්තේ ඔවුන් දෙදෙනාය. ඊට අමතරව එම නිවෙසේ පදිංචිව සිට ඇත්තේ තුවාල ලබා රෝහල් ගතකර ඇති 15 හැවිරිදි ඔවුනගේ මිනිපිරිය සහ ඇගේ මවය. එම මව මුතූර් රෝහලේ හෙදියක් වූ බැවින් ඇය සිද්ධිය වූ දා රාත්‍රියේ එම නිවෙසේ රැඳී සිට නැත. ඒ ඇය එදින රාත්‍රි සේවා මුරය සඳහා රෝහලට ගොස් සිටි නිසාය.
ඒ අනුව පොලිසිය තහවුරු කරගත්තේ සිද්ධිය වන විට එම නිවෙසේ රැඳී සිට ඇත්තේ මැරුම් කෑ කාන්තාවන් දෙදෙනා සහ 15 හැවිරිදි මිනිපිරිය බවය. එම තහවුරු කිරීම අනුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිගමනය වූයේ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කිසිම් හෝ තොරතුරක් තුවාල ලැබූ මිනිපිරිය දැන සිටිය යුතු බවය.
මියගියවුන්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඔවුන්ගේ සිරුරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කෙරුණු අතර සිද්ධියට සම්බන්ධ ඝාතකයා සොයා විමර්ශන ඇරැඹුවේ එතැන් පටන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් පොලිසිය සතු නොවීය. මියගියවුන් සමඟ වෛරයක් ඇති කරගත් කිසිවකු ගැනද තොරතුරක් හෙළි නොවීය. පිටස්තරයකු එම නිවෙසට ආගිය බවක්ද දක්නට නොවීය. මේ නිසා පොලිසියද මහත් ගැටලුවකට මුහුණ දුන්නේය. ඒ අනුව මුතූර් පොලිස් ස්ථානාධිපති සෝමනුවරගේ අදහස වූයේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කළ 15 හැවිරිදි දැරියගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකොට හෝඩුවාවක් සොයා ගත යුතු බවය.
ස්ථානාධිපතිවරයා මුතූර් රෝහලට ගොස් දැරිය මුණගැසුණේය. සිද්ධිය පිළිබඳව ඇගෙන් විමසුවේය. ඒ ඉතා ආදරයෙන් කරුණු පහදා දෙමින් පියකු ලෙසය. ඒ, ඇය බාල වයස්කාරියක් වූ නිසාය.
”මමත් ඒ වෙලාවේ ගෙදර හිටියේ. කවුදෝ කෙනෙක් ආවා. එයා මුහුණ වහගෙන හිටියේ. ජැකට් එකක් දාලා හිටියා. ග්ලවුස් අතට දාලා හිටියේ. එයා තමයි ආච්චිලට පිහියෙන් ඇන්නේ. කුස්සියේ තිබිලා තමයි පිහිය ගෙනාවේ.”ඇය ස්ථානාධිපතිවරයා හමුවේ කියාගෙන ගියාය.
”ආව කෙනා ඔයාට හඳුනාගන්න බැරිද…”
”බැහැ… මම ඒ වෙලාවේ කණ්ණාඩි දාලා හිටියේ නැහැ. කණ්ණාඩි දැම්මට පස්සේ තමයි මට හොඳට පේන්නේ. ඒ නිසා මම එයාව හරියට දැක්කේ නැහැ…”
”එයා ඔයාට මුකුත් කළේ නැද්ද…” ස්ථානාධිපතිවරයා යළි දැරියගෙන් විමසුවේය.
”නැහැ… මට කිව්වා උඹේ ඇස්දෙක පේන්නේ නැති නිසා උඹ බේරුණා කියලා… ”ඇය දිගින් දිගටම කීවේ එම කතාවමය. පොලිසිය ඇගේ ප්‍රකාශය සටහන් කරගත්තේය. ඇය ළාබාල තරුණියක් නිසා ඇගෙන් තදින් ප්‍රශ්න කිරීමක්ද සිදුනොවීය.
අවසානයේ නිලධාරීන් යළි සිද්ධිය වූ නිවෙසට පැමිණියේය. ඒ කිසිදු සාර්ථක තොරතුරක් නැතිවය.
”ඔන්න ඔය අතරේ මට සැකයක් ආවා. ඔය ගෙදර තිබුණු ලේ පැල්ලම් උඩ සටහන් වෙලා තිබුණු සෙරෙප්පු අඩි ගැන. මම නිලධාරීන්ට කිව්වා. මේ ගෙදරට පිටස්තර කෙනෙක් ආවා කියලා කිසිම සාක්කියක් නැහැනේ. ඒ නිසා මේකට ගේ ඇතුළෙන්ම සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඔය ලේ උඩ තියෙන සෙරෙප්පුව සොයා ගත්තොත් අපිට මේකෙ කොනක් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඒක ගෑනු සෙරෙප්පුවක් බවට අපිට සැකයකුත් තිබුණා. ස්ථානාධිපතිවරයා පවසන්නේ ඒ අනුව ඔහුගේ උපදෙස් මත නිලධාරීහු ලේ තැවරුණු සෙරෙප්පු යුගලක් සොයා එම නිවෙසම සෝදිසියට ලක් කළහ. එහෙත් එවන් සෙරෙප්පුවක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි නොවීය
”පොඩ්ඩක් අහල පහලත් බලමු…” සමහර වෙලාවට කැලයකට විසි කරන්නත් පුළුවන්… මොකද ඔය සෙරෙප්පු අඩි බාත්රූම් එකට යනකම් තියෙනවානේ. සමහර වෙලාවට බාත්රූම් එකේදී සෙරෙප්පු හෝදලා විසිකරන්නත් ඉඩ තියෙනවා. තවත් ටිකක් හොයමු.”
ස්ථානාධිපතිවරයාගේ එම උපදෙස් මත අපරාධ විමර්ශන නිලධාරීහු සිද්ධිය වූ නිවෙස හා ඒ අවට ලේ තැවරුණු සෙරෙප්පු කුට්ටමක් සොයා දිගින් දිගටම විමර්ශන ඇරැඹූහ.
මොහොතකට පසු නිවෙසේම දෙබොක්කාවක් අසල හාල් උරයක තිබී අබලි ද්‍රව්‍ය අතර තිබූ කාන්තා සෙරෙප්පු ජෝඩුවක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. හොඳින් නිරීක්ෂණය කරද්දී එම සෙරෙප්පු ජෝඩුව සෝදා පවිත්‍රකර ඇතත් එහි සමහර තැන්වල රුධිරය ගෑවී තිබුණේය. ස්ථානාධිපතිවරයාගේ එක් අරමුණක් සාර්ථක විය.
සිද්ධිය නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන්ට දැනුම් දීමත් සමඟ ඔවුන්ගේ උපදෙස් මත යළි විමර්ශන ඇරැඹීය.
”ඉන් පස්සේ අපි බැලුවා. ඒ ලේ ගෑවුණු සෙරෙප්පුව කාගේද කියලා. ගෙදර කෙනෙක්ගේද පිටස්තර කෙනෙක්ගේද කියලා. ඒ වගේම අපි නිරීක්ෂණය කළා. ඒ සෙරෙප්පුවේ අඩිමද පොළොවේ ලේත් එක්ක සටහන් වෙලා තිබුණු සෙරෙප්පුවේ අඩිමද කියලා. එතකොට අපිට ටැලිවුණා ඒ දෙකම එකම සෙරෙප්පුවේ අඩි කියලා… ”
”පස්සේ අපි ඒ ගෙදර ඉතුරු වෙලා හිටිය එකම කාන්තාව අර මිනිපිරියගේ අම්මාගෙන් ඇහැව්වා මේ සෙරෙප්පු දෙක කාගේද කියලා. එයා කිව්වා ඒක දාන්නේ එයාගේ මරලා දාපු අම්මා කියලා. එතැනදී අපිට ආයෙත් ගැටලුවක් මතුවුණා. මියගිය කෙනාගේ සෙරෙප්පුව කොහොමද ලේ ගැවුණු බිම සටහන් වුණේ කියලා. අපි ඒක දැනගන්න ආයෙත් අර රෝහලේ ඉන්න මිනිපිරියගෙන් ප්‍රශ්න කළා.”ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.
එහෙත් මිනිපිරිය එක හෙළාම පැවැසුවේ එම සෙරෙප්පු දෙක මිත්තණියගේ වුවද එහි ලේ ගෑවී ඇති 3 වැනි පිටුවෙන් ආකාරය ඇය නොදන්නා බවය. එහෙත් ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයාට ඇය ගැන කිසියම් සැකයක් ඇතිව තිබිණි. ඒ ඇය කිසියම් දෙයක් වසන් කරන බව දත් නිසාය.
වයස අවුරුදු පහළොවක දැරියක් නිසාත්, ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන නිසාත් ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ඉතා අපහසු විය. පසුව උපක්‍රමශීලීව ඇගෙන් කරුණු කාරණා විමසන්නට ස්ථානාධිපතිවරයා පියවර ගත්තේය. ඒ සඳහා පොලිස් කාන්තාවක්ද යොදා ගැනිණි. ඇයද දැරියගෙන් ඉතා කාරුණිකව ප්‍රශ්න කළද දැරිය පවසන්නේ මුහුණ වසාගත් පිටස්තර පුද්ගලයා මිත්තණියන් මරා දැමූ බවය පමණක්ය.
දැරියට සුළු විවේකයක් ලබාදුන් ස්ථානාධිපතිවරයා මොහොතකට පසු ඇය වෙත පැමිණ ඇගෙන් උපක්‍රමශීලීව නැවත ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ඒ ඉතා සෙනෙහවන්ත කමින්ය.
”එතකොට මොකටද ඔයා අර ආච්චිව හැපුවේ. ඒ ආච්චි හපපු තැන තියෙන්නේ ඔයාගේ දත් පාරවල්නේ…”ස්ථානාධිපතිවරයාගේ එම ප්‍රශ්නයට දැරිය හසුවිය. ඇය එකවරම තිගැස්සී ගියාය.
“ඒ වෙලාවේ මට ෆීස් එක වගේ ආවා. ඒ නිසයි මම ආච්චිව හැපුවේ.”ඇයට කියවුණාය. ස්ථානාධිපතිවරයාට යමක් දැනිණි. ඒ මෙම ද්විත්ව ඝාතනය ඇය විසින් සිදුකරන්නට ඇති බවය. එහෙත් අවුරුදු 15ක දැරියකට මෙවන් ද්විත්ව ඝාතනයක් සිදු කරන්නට තරම් ශක්තියක්, වෛරයක් ඇත්ද. ඒ සැකය මත දිගින් දිගටම ඇගෙන් ප්‍රශ්න කරන්නට විය.
අවසානයේ 15 දැරිය සියල්ල එකිනෙක පවසන්න වූවාය. ස්ථානාධිපතිවරයා ඇතුළු විමර්ශන කණ්ඩායම සාර්ථක ප්‍රතිඵල නෙළාගත්තේ එතැන් පටන්ය.
මේ මියගිය කාන්තාවන් දෙදෙනා ඉන්න ගෙදරට තවත් දරුවෝ දෙන්නෙක් යනවා එනවා. ඒ දරුවෝ දෙන්නට මේ ආච්චිලා දෙන්න කන්න බොන්න දීලා ආදරයෙන් සලකනවා. මෙයාට ඒක බලාගෙන ඉන්න බැරිවෙලා. එයා හිතලා තියෙන්නේ ආච්චිලා එයාට ආදරේ නැහැ. ඒ දෙන්නට තමයි ආදරේ කියලා.
අනෙක මේ ගෑනු ළමයා ත්‍රාසජනක චිත්‍රපට ටී.වී. එකේ යද්දී ආශාවෙන් බලාගෙන ඉන්නවා ටී.වී. එකේ ශබ්දය වැඩි කරවාගෙන. ඒකට ආච්චිලා මෙයාට බනිනවලු. ඒ කේන්තියත් මෙයාට තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. අනෙක මෙයාගේ පියා මවගෙන් වෙන්වෙලා ඉන්නෙත් ආච්චි නිසා කියලා මෙයාගේ හිතේ තිබිලා තියෙනවා. විමර්ශන නිලධාරියෙක් සිදුවීම සම්බන්ධයෙන් සඳහන් කළේ එවන් කතාවක්ය.
ඇගේ ප්‍රකාශය මත ද්විත්ව ඝාතනය සිදුකළ උල් පිහියද නිවෙසේම සඟවා තිබියදී සොයා ගැනිණි.
සැකකාරිය මුතූර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බාල වයස්කාර දැරියක් නිසා ඇය පරිවාස භාරයට පත් කරන ලෙස මුතූර් මහෙස්ත්‍රාත් නස්ලිම් මොහොමඩ් ෆවුසාල් මහත්මිය ඉකුත්දා නියම කළාය.
අබිරහසක් වන්නට තිබූ ද්විත්ව ඝාතනය මෙසේ විසඳාගෙන ඊට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මුතූර් පොලිස් ස්ථානාධිපති සෝමනුවර ඇතුළු කණ්ඩායම ගත් උත්සාහය උසස් පොලිස් නිලධාරීන්ගේ පැසසුමට ලක්විය.
කීර්ති මෙන්ඩිස්