මනුෂ්‍ය ඝාතන 04ක් සහ දෙදෙනකුට බරපතල තුවාල සිදුකර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම, ගලවිල ප්‍රදේශයේදී අද (18) කළ වැටලීමකදී බවයි බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පැවසුවේ.
එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 5,000 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ සැකකරු අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් නීති විරෝධී කටයුතු සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවත් පොලිසිය පවසනවා.
2023 මැයි මස 12 වැනිදා අවිස්සාවේල්ල, තල්දුව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීමට, මෙන්ම
එම මස 26 වැනිදා තල්දූව, දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා 2023 සැප්තැම්බර් මස 20 වැනිදා තල්දුව, ගුරුපස්වලදී යතුරු පැදියකින් ගොස් තිරෝද රථයක ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමට මොහු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ.
මීට අමතරව තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීමද සැකකරු සිදු කර ඇති ප්‍රධාන අපරාධ බවයි පොලිසිය පවසන්නේ.