ආයුර්වේදයේදී ;දේශීය වෙදකමේදී නෙල්ලිවලට හිමි වන්නේ ප්රමුඛ තැනක්.
ඖෂධීය ගුණ මෙන් ම, කා අතරත් ජනප්‍රිය පලතුරක් ලෙස නෙල්ලිවලට ඇත්තේ ඉහළ වටිනාකමක්. ජීව පදාර්ථ මෙන් ම, ඛනිජ පදාර්ථ රැසකින් පරිපූර්ණ නෙල්ලිවල උද්භිද විද්‍යාත්මක නාමය Phylantha emblica වන අතර, එය Euphorbiaceae කුලයට අයත් වේ.
නෙල්ලිවල සංස්කෘත නාමය ආමලකි නම් වේ. වල් නෙල්ලි, ගම් නෙල්ලි ලෙස නෙල්ලි දෙවර්ගයකි.
නෙල්ලිවල ඉහළ විටමින් සී ප්‍රමාණයක් ඇති බව පැහැදිලි ය.
විටමින් සී සිරුර තුළදී ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින්, විවිධ රෝගාබාධවලින් ශරීරය ආරක්ෂා කරයි. ප්රතිඔක්සිකාරකයක ප්‍රධානතම ක්‍රියාවක් වන ඉක්මනින් වයසට යාම වැළැක්වීමේ හැකියාව, නෙල්ලි සතුය.
රූපලාවන්‍ය මඟින් තම වයස සඟවා තරුණ පෙනුම රැක ගැනීමට උත්සාහ කරන කාන්තා පරපුරට, නෙල්ලිවලින් ලැබෙන සත්කාරය, ඔවුන් මවිත කරනු ඇත.
උදේට නෙල්ලිගෙඩි 03 ක් ද, දවල්ට ගෙඩි 02 ක් ද, රාත්‍රියට ගෙඩියක් ද ආහාරයට ගැනීමෙන්, අවුරුදු සියයක තරම් දීර්ඝායුෂ ලැබෙන බවට මතයක් පවතී.
ආයුර්වේදයට අනුව නෙල්ලි ත්‍රිදෝෂ හර වේ.
බාහිර වශයෙන් ඇස්වලට හිතකර, දාහය නසන, කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හැඳින්විය හැකි ය.
මේවා ආහාරයට ගැනීමෙන්, අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. කුසගින්න වඩවයි. මළබද්ධය නසයි. හෘදයට මෙන් ම ගර්භාෂයට ද හිතකර ය.
මුත්‍රාකාරකයකි. ලේ හිඟකමට ද යෝග්‍ය ඔසුවකි.
නෙල්ලි ආහාරයට ගැනීම මඟින්, ප්‍රතිශක්තිය වර්ධනය කරනවා සේ ම, සමේ රෝග නැසීමේ බලයක් ද පවතී.
හිස කෙස්වලට මෙන් ම, හිස් කබලේ නීරෝගී බව පවත්වා ගැනීමට ද, නෙල්ලි හිතකර ය. මේ එබඳු ප්‍රතිකාර කිහිපයකි.
සුදු හිසකෙස් කළු කිරීමට
අමු නෙල්ලි ගෙඩි තම්බා හිස සෝදන්න. සබන් ගෑමෙන් වළකින්න. අඹ ඇටමද, නෙල්ලි, කුඹුක් පොතු, අවරිය, මානෙල් අල තලා චූර්ණ කර තලතෙලින් කකාරා හිස ගල්වන්න.
හිසකෙස් වැඩීමට
දෙහි සහ නෙල්ලි යුෂ මිශ්‍රකර දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර හිස ගල්වා හොඳින් පිරිමැදීමෙන්, හිසකෙස් අකලට පැසීම, වැටීම, හිසකෙස් පැලීම මෙන් ම, උකුණන්ගෙන් ආරක්ෂා වේ. මීට අමතව අරළු, බුළු, නෙල්ලි, කීකිරිඳිය යුෂින් අඹරා නැවත කීකිරිඳිය යුෂට දියකර හිස ගල්වා පසුව ස්නානය කිරීමෙන් ද හිසකෙස් වැඩීමට සුදුසු ප්‍රතිකාරයකි.
ඉස්හොරි නැසීමට
කීකිරිඳිය, මුංඇට, නෙල්ලි, සුදු හඳුන් එළකිරෙන් සහ තැඹිලි දියෙන් අඹරා, හිස ගල්වා තබා ස්නානය කරන්න.
හිස කැක්කුමට
අරළු, බුළු, නෙල්ලි, ඇහැලපොතු, රසකිඳ, කලාඳුරු අල මේවා කළං 02 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ සහිඳ ලුණු දමා පානය කරන්න.
මධුමේහයට
වියළි නෙල්ලි, මාදං ඇට, කරවිල චූර්ණය ඉතා ගුණදායක ය.
මෙලෙස ඖෂධයක් ලෙසත්, පලතුරක් ලෙසත් මහඟු ගුණ සමුදායකින් යුක්ත වූ නෙල්ලි, ආයුබල වඩන්නා වූ කදිම ඖෂධයකි.
( උපුටාගනීමක් )