අද සමාජයේ බොහෝ දෙනා උසට සරිලන මහතකින් යුක්ත නොවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
ශරීරයේ ස්ථුලතාවය වැඩිවත්ම බොහෝ දෙනා මුහුණපාන ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීමයි. එම රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදුවන බව සඳහන් කළ යුතුයි.
මේ සඳහා අතීතයේ සිටම පැරැන්නන් සුදු ළූණු භාවිත කළ බව කියැවෙනවා. මදක් පිලිස්සූ සුදු ළූණු පිරිසිදු මී පැණිවල බහා තබා ආහාරයට ගැනීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරගත හැකි බව සඳහන්.
සුදු ළූණු රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බව පැවසෙනවා. මෙහිදී ශරීරයට නුසුදුසු LDL කොලෙස්ටරෝල් වර්ගය මෙන්ම ශරීරයට සුදුසු HDL කොලෙස්ටරෝල් වර්ගය යන දෙවර්ගයම එක ලෙස අඩු වන බවයි බොහෝ දෙනාගේ පිළිගැනීම.
එහෙත් සුදු ළූණු ආහාරයට ගැනීමෙන් සිදුවන්නේ ශරීරයට නුසුදුසු LDL කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම පමණයි. එහිදී ශරීරයට සුදුසු HDL කොලෙස්ටරෝල් මට්ටම අඩුවීමක් සිදුවන්නේ නැහැ.
ඒ වගේම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ වරක් දෙවරක් සුදු ළූණු ආහාරයට ගැනීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු නොවන බවයි. අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම් නිසි අයුරින් පාලනය කිරීමට දිනපතා සුදු ළූණු ආහාරයට ගැනීම කළ යුතුයි.
සුදු ළූණු ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක වූවත්, ඇතමෙකුට එමඟින් විවිධ අතුරු ආබාධ ඇති කිරීමේ හැකියාව පවතිනවා. මුඛයේ දුර්ගන්ධයක් ඇති වීම, උදරයේ පපු ප්‍රදේශයේ ඇතිවන දැවිල්ල, ගැස්ට්‍රයිටීස් ඇති වීම ආදීය සිදුවනවා.
දිනපතා එක් ආහාර වේලකට සුදු ළූණු බික් එකක් හෝ දෙකක් එක් කර ගැනීමෙන් මෙවැනි අතුරු ආබාධ ඇති වීම පාලනය කරගත හැකියි. නමුත් දිනකට සුදු ළූණු බික් දෙක තුනකට වඩා ලබාගන්නා පුද්ගලයින්ට ඉහත කී අතුරු ආබාධවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන් යම් රෝගී තත්ත්වයකට දීර්ඝ කාලීනව ඖෂධ ලබාගන්නා අයෙක් නම් දිනපතා සුදු ළූණු ආහාරයට ගැනීම පිළිබඳවත් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට / අඩු කිරීමට සුදු ළූණු හේතු වන බව පැවසුනත් එය ක්ෂණිකයෙන් සිදුවන්නක් නොවන බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි.
ඒ වාගේම මෙය ස්වභාවික ආහාරයක් වන නිසා අධික කොලෙස්ටරෝල් මට්ටමකින් පීඩා විඳින අයෙකුගේ කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු අගයකින් අඩු කිරීමේ හැකියාවත් එහි අඩංගු වන්නේ නැහැ. එහෙත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම උදෙසා ඔබගේ දිනපතා ආහාර වේලට සුදු ළූණු එක්කර ගැනීම යෝග්‍ය බව කිව යුතුයි.