ඒක මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි.. නිවස කියන්නේ භෞතිකවත් මානසිකවත් මිනිසාට නිදහස ලබාදෙන තැනක්.. එහෙනම් ඔබ ඔබේ නිවස ගැන මොනතරම් නම් සැලකිලිමත්විය යුතුද..? මේ ලිපිය කියවූ විට ඒ ගැන ඔබටත් තේරේවි..
ආදි කාලීන සමාජ තලයේ සිට වර්තමාන සමාජය සහ ඉන් ඉදිරිකාලයට ද මේ නිවෙස හා ඒ ඇතුළත, අවට පාරිසරික සැකැස්ම බලගැන්වීමෙන් පවුලේ දියුණුව, නීරෝගීභාවය, අධ්‍යාපනික සාර්ථකත්වය වැනි කරුණු සාර්ථකත්වයට පත්කර ගැනීමේ අවකාශය පවතී.
ස්වභාවික පරිසර පද්ධතියකට අනුගතව ජීවත්වුණු අප මුතුන් මිත්තන් එම සාධක භාවිත කරමින් මිනිසාගේ මූලික මානව අවශ්‍යතා වන ආහාර, නිවාස, ඇඳුම් පැලඳුම් වැනි දෑ සකසා ගැනීමට කටයුතු කරන ලදී. අතීතයේදී නිවෙස නැමැති වස්තුව ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉදිකරන්නට යෙදුණි. නිදසුනක් ලෙස ස්වභාවික පස් භාවිත කිරීම සහ ජීවි ශාක පද්ධතිවලට අදාළ කොටස් වන පොල් අතු ආදි ශාක පත්‍ර භාවිතයෙන් තම ගෘහය සකසා ගන්නා ලදී.
එහෙත් වර්තමාන සමාජ තලය ස්වභාවික පස පුලුස්සා රසායනික ද්‍රව්‍ය එකතු කර ටයිල්, සිමෙන්ති වැනි ද්‍රව්‍ය භාවිත කරයි. පරිසර පද්ධතිය තුළ පවතින ස්වභාවික ජීව ශක්තිය හිමි ශාක පද්ධති නොයෙකුත් මිනිස් තාක්ෂණික ක්‍රියාකාරකම් හරහා ස්වභාවික ශක්තිය නසා අජීවි ද්‍රව්‍ය ශක්තියක් බවට පත්කර වර්තමාන ගෘහ ඒකක සකසා ගනු ලබයි. මේ අජීවි ගෘහ ඒකක තුළ සොබාදහම් මාතාවගේ ආශිර්වාදය ඇති පඨවි, ආපෝ, තේජෝ, වායෝ වැනි පංච මහා භූත ශක්තියේ ජීවි ක්‍රියාවලියට අදාළ වන මානව ප්‍රජාව වාසය කරයි.
එබැවින් ජීවිත සාර්ථකත්වය, නීරෝගීභාවය, අධ්‍යාපනික කටයුතු ඇතුළු මානව ක්‍රියාකාරකම් සාර්ථක හෝ අසාර්ථක වීමට හේතු වන කාරණා සඳහා මේ ස්වභාවික නොවන කෘත්‍රිම ආකායෙන් ඉදි කරන ලද ගෘහ ඒකක, නිවාස ඒකක තුළ වාසය කිරීම ද බලපායි.
අතීතයේ ස්වභාවික පස්, ස්වභාවික ශාක ද්‍රව්‍ය කිසිදු තාක්ෂණික, කෘත්‍රිම, භෞතික ක්‍රියාකාරකමක් මඟින් වෙනස් නොකොට, ස්වභාවිකවම භාවිත කළ බැවින් ඔවුන්ගේ ජීවිත දීර්ඝායුෂ ලබමින් තමන්ගේ අධ්‍යාපනය සහ ධ්‍යාපනය (ගත සිත) නීරෝගීභාවය, ළඟා කර ගනිමින් ඉතා සාර්ථක, විභූතිමත් ජීවන සැකැස්මකින් කටයුතු කරන ලදී.
අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල, කුරුණෑගල ආදී ඓතිහාසික නගර අදටත් එම විශිෂ්ට ජීවන සැකසුමේ අසිරිමත් බව මොනවට කියාපානු ඇත. එහෙත් එවන් තත්ත්වයක් අද නිවෙස් තුළ දක්නට නොමැත. කෙසේ වුවත් වර්තමානයට උචිත ලෙස තම නිවෙස වාස්තු දෝෂවලින් බැහැරව ආශිර්වාදාත්මක ස්ථානයක් බවට පත් කරගන්නේ කෙසේ දැයි විමසා බැලීය යුතුය. එනිසාම මෙතැන් සිට වර්තමාන නිවෙසක දියුණුවට බලපාන වාස්තු රහස් පිළිබඳ කතාබහ කරමු.
ධනය ආකර්ෂණය
නිවෙසේ මුදල් තැන්පත් කිරීමේදී ලෝහමය උපකරණයකට වඩා දැවමය උපකරණ භාවිතය ධන ආකර්ෂණයට ඉතා යහපත් වනු ඇත.
අල්මාරි සැකසීමේදී අඩි 6ක් උස අඩි 4 පළල වර්ගඵලයට සැකසුම සිදු නොකළ යුතුය. සත්ත්ව කැටයම් නිවෙසේ ප්‍රධාන ද්වාරයක හෝ මුදල් තැන්පත් කරන අල්මාරියක හෝ ඇඳක හෝ කැටයම් නොකළ යුතුය.
නැඟෙනහිර දෙසට දොරවල් විවර වන ලෙස නිවෙසේ නිරිත කලාපයේ අල්මාරිය පිහිටුවා ගැනීම ධන ආකර්ෂණයට හේතුවනු ඇත. කොහොඹ, බුරුත, කොස් වැනි උතුම් ශාක අල්මාරි වැනි භාණ්ඩවලට වැඩි වැඩියෙන් ධනය ආකර්ෂණය වනු ඇත.
ධනය රැක ගැනීම
ඔබ උපයන ධනය ඉතිරි කර ගැනීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය පවත්වා ගැනීම වෙනුවෙන් සමන්පිච්ච, ගැටපිච්ච, දාස්පෙති වැනි සුවඳ මල් නිවෙසේ වැවීම, සුදුසු ස්ථානවල තැබීම මෙන්ම තම ආධ්‍යාත්මික කටයුතු සඳහා භාවිත කිරීම ඉතා යහපත් වේ.
අධ්‍යාපනයේ දියුණුවට
ඇට්ටේරියා ශාකය ඔබගේ නිවෙස ආශ්‍රිත ගෙබිමේ ඊශාන දිශාවේ රෝපණය කිරීමත් එයට සාත්තු සප්පායම් කිරීමත් කළ යුතුය. එය ඉතා සාර්ථක ආශීර්වාදාත්මක ශක්ති කලාපයක් අධ්‍යාපන කටයුතු සඳහා ඹබට උදාකරනු ඇත.
එසේම නිවෙසේ ඊශාන කොටස තුළ පුස්කොළ පොතක ආකෘතියක්, පිත්තල හෙප්පුවක් මත නිවෙසට යන එන අයට දර්ශනය වීමට සැලැස්වීම මඟින් අධ්‍යාපනික කටයුතු සඳහා ශක්තිය, කැමැත්ත නිවෙස තුළට ආශිර්වාදාත්මකව ලැබෙනු ඇත.
ජීව ශක්ති වර්ධනයට
නිවෙස සහිත උතුම් භූමිය තුළ පවතින විශ්වීය ශක්තිය ගැබ් වූ රන්, රිදී, තඹ, පිත්තල, මුතු, මැණික් ආදී ලෝහ සහ පාෂාණ වර්ග නිවැරැදි පරිහරණය ඔබගේ ජීව ශක්තිය වර්ධනය කර ගැනුමට උපකාරී වේ.
මානසික, ආධ්‍යාත්මික සංවර්ධනයට
දකින දෙය සිතිවිලි බවට පත්ව සිතිවිලි ක්‍රියාවක් බවට පත්වන බැවින් ඔබගේ උතුම් නිවෙසට ඇතුළුවීමේදී එම නිවෙස බෞද්ධ නිවෙසක් නම් සුජාතා කිරිපිඬු දානය, සිදුහත් කුමරුගේ ශිල්ප දැක්වීම, සිදුහත් බෝසත් උපත, ප්‍රථම ධර්ම දේශනය වැනි උතුම් පින්තූරයක් නිතර දැකීමට සැලැස්වීම එම ගෘහය තුළ ජීවත්වන නිවැසියන්ගේ මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා හේතුවක් වනු ඇත.
උතුම් මවු පදවිය බලාපොරොත්තුවන ගැබිනි මාතාවන්ට පවා තමා ජීවත් වන නිවෙසේ පරිසරය තුළ යහපත් සෞම්‍ය පින්තූර තබා ගැනීමට කටයුතු කිරීම ඉතා නැණවත් සුබ කාරණාවක් බවට පත්වනු ඇත.
මුළුතැන් නිවෙස
නිවෙසේ නීරෝගී සම්පත ඇති වීමට ඖෂධාගාරය හෙවත් මුළුතැන් නිවෙස, අපට මහත් අනුබලයක් ආශිර්වාදයක් ලබාදෙනු ඇත.
ඔබ මුළුතැන් නිවෙස තුළ පිළිවෙළ කරනු ලබන ආහාර භාවිතාව නිවැරැදි කර ගැනීම මඟින් ඔබට ඉතා බලවත් ශක්තීන් 5ක් හිමි වනු ඇත. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ඒ ශක්ති වර්ග වේ. මේ උතුම් ශක්තිය ඔබට ලැබෙනුයේ ඔබගේ උතුම් මුළුතැන් නිවෙස තුළ පිළියෙල කරනු ලබන ආහාර පරිභෝජනය කිරීම මඟිනි.
ඔබ අන් කෙනකු සඳහා ආහාරයක් ප්‍රදානය කළ ද ඔබට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා හිමිවනු ඇත. මුළුතැන් නිවෙස තුළ භාවිත කරනු ලබන ආහාර භාවිතයෙන් පසු ඉඳුල් බැහැර කිරීමේදී එය අන් කෙනෙකුට දැකීමට හෝ විවේචනයක් ඇති කිරීමට නොහැකි ආකාරයටම එය බැහැර කළ යුතුය.
ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝඇඬියා වැනි දේවල් ඇතිවීම මෙමඟින් වළක්වා ගැනීමේ හැකියාව මෙන්ම නිවෙසට වාසනාවේ දොරටු විවර කර ගැනුමට ඔබට හැකිවනු ඇත.
අන්තර්ජාලය ඇසුරෙන්..