කාන්තා දිනය මහත් උත්සවශ්‍රීයෙන් සමරා ගතවූයේ දින දෙක තුනකි. සමස්ත සමාජයම බිය ගන්වමින් කාන්තා ලිංගික හිංසනය පිළිබඳ පුවතකින් මුළු රටම කැලැඹී ගියේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකාගාරයක් තුළ වෛද්‍යවරියක් අපයෝජනයට ලක් කිරීමේ පුවත රටේ කාගේත් අවධානයට යොමුවූ අතර එම සිදුවීම පාදක කොටගෙන ඇති වූ රෝහල් වර්ජනයෙන් විශාල රෝගීන් සංඛ්‍යාවක් පීඩාවට පත්විය. වැඩවර්ජනයේ අරමුණු දෙකක් විය.
ඉන් එකක් වෛද්‍යවරිය අපයෝජනය කළ තැනැත්තා එක් දිනක් තුළ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ බලකිරීමය. ඔහු අල්ලා ගැනීමට නොහැකි වුවහොත් දීපව්‍යාප්තව වැඩවර්ජනයකට පිවිසෙන බව කියමින් වෛද්‍ය සංගම් රජයටද අනතුරු ඇඟවීය.
වෛද්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම වැඩවර්ජනයේ අනිත් අරමුණ විය.
මෙම හදිසි වැඩවර්ජනයෙන් රජයද දැඩි අපහසුතාවකට පත්විය. උතුරු මැද පළාත භාර උසස් පොලිස් නිලධාරීන්ගේද අවධානය මේ සඳහා යොමුවිය. කෙසේ හෝ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම බලධාරීන්ගේ එකම අරමුණ විය. සැකකරු අත්අඩංගුවට ගෙන පවතින වර්ජනය නිම කිරීම නිලධාරීන්ගේ එකම අරමුණ විය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු වෛද්‍යවරිය මෙලෙස අතවරයට ලක්වන්නේ ඉකුත් 10 වැනිදා සවස් වරුවේය. අනුරාධපුර මූලස්ථාන පොලිසිය මේ බව දැනුවත් කරනුයේ රෝහල් වෛද්‍යවරයකු සහ වෛද්‍යවරියගේ පියා විසිනි.
විමර්ශන ඇරැඹෙන්නේ එතැන් පටන්ය. අනුරාධපුර පොලිසියේ කණ්ඩායමක් අතවරයට ලක්වූ වෛද්‍යවරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එදින රාත්‍රියේම රෝහල වෙත ගියේය. එතැනදී සිද්ධිය සම්බන්ධයෙන් ඇගෙන් විමසීමක් කරන්නට විය. ඒ අනුව හෙළිවන්නේ මෙවන් කරුණු කාරණාය.
ඉකුත් 10 වැනිදා රෝහලේ රාජකාරි කළ ඇය නේවාසිකාගාරයට පැමිණ සවස 3.30ට පමණ ත්‍රිරෝද රියක නැඟී රුවන්වැලි මහ සෑය වැඳ පුදා ගන්නට ගොස් තිබුණාය. ඉන් අනතුරුව සවස 6.30ට පමණ ඇය යළි ත්‍රිරෝද රියක නැඟී සිය නේවාසිකාගාරයට පැමිණියාය.
නේවාසිකාගාරයේ කාමරය වෙත පිවිසීමත් සමඟ කිසිවකු ඒ අසල දොරට හේත්තු වී සිටින බව ඇය දුටුවාය. ඒ සමඟ ඇය තිගැස්සී ගියාය. ඇගේ ගෙල පිහියකින් තදවිය. ඔහුගේ දකුණු අතින් ඇගේ කට වැසිණි.
”කෑගහන්න එපා දොර අරින්න”ඔහු ඇය ලවාම ඇගේ කාමරයේ දොර විවර කර ගත්තේය. කාමරයේ දොර විවර කරගත් ඔහු ඇගේ ජංගම දුරකථනයේ මුර පදය ඇය ලවාම ඉවත් කරගෙන හින්දි සින්දුවක රසවින්දේය.
”සද්ද කළොත් බෙල්ල කපනවා” ඔහු ඇයට මරණීය තර්ජනය එල්ල කළේය. ඇය ඉන් බියට පත්වූවාය. තමා මරා දමාවි යැයි ඇයට සිතිණි. ටීෂර්ටයකින් කට වසා දැමූ ඔහු ඇයව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළේ ඉන් පසුවය.
”මම ෆෝන් එක ගෙනියනවා. කාටවත් කියන්න එපා. කිව්වොත් ඔයාටමයි කරදර වෙන්නේ. මට සමාවෙන්න.”ඔහු නේවාසිකාගාර කාමරයෙන් නික්ම ගියේය. දැඩි ලෙස බියට පත්ව සිටි වෛද්‍යවරිය බැඳ දමා තිබූ අත් හා පාද ලිහාගත් ඇය ඉන්පසු ශික්ෂණ රෝහලට ගොස් ඇය සේවය කරන වාට්ටුවේ වෛද්‍යවරයාට මේ බව දන්වා තිබිණි. පසුව ඔහුගේම දුරකථනයෙන් සිය පියාටද සිද්ධිය පවසා ඇත.
නිලධාරීන් ඇය රැඳී සිටි රෝහල් වාට්ටුවට ගොස් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ඉන්පසුවය.
ඇගේ මෙම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු පොලිස් කණ්ඩායම විමර්ශන අරඹමින් ඉහළ නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට විය.
විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය වූයේ සිද්ධියට අදාළ පාපතරයා කවුදැයි හඳුනාගැනීමය.
ඔහු අඩි 5යි අඟල් 8ක් පමණ උස පුද්ගලයකු බවත් කමිසයක්වත් ඇඳ නොසිටි ඔහු තලෙළු කෙට්ටු පුද්ගලයකු බවත් කොණ්ඩය කොටටම කපා ඇති අවුරුදු 30ක් 35ක් වයසැති අයකු බවත් නැවත දුටුවොත් හඳුනාගත හැකි බවත් වෛද්‍යවරිය පොලිස් නිලධාරීන් හමුවේ කියා තිබුණාය. එමෙන්ම ඔහුගේ සිරුරේ පච්චයක සලකුණක්ද දුටු බව ඇය නිලධාරීන්ට පවසා තිබිණි.
විමර්ශන ඇරැඹුණේ එම තොරතුරු ඔස්සේය. සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට අමතරව ළමා හා කාන්තා කාර්යාංශයද පුළුල් පරීක්ෂණයක් ඇරඹුහ.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන, අනුරාධපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. සුගතපාල, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ, සහකාර පොලිස් අධිකාරි විතානගේ යන නිලධාරීන්ගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් කිහිපයක් සැකකරු සොයා මෙහෙයුම් දියත් කළ අය අතර වූහ.
පසුදා (11දා) වන විට සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සමාජගත වීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම වැඩවර්ජනයක් ආරම්භ කළ අතර තත්ත්වය එන්න එන්නම බරපතළ විය.
මේ අතර අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සැකකරු හඳුනාගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදුණු අතර සැකකරු රැගෙන ගිය වෛද්‍යවරියට අයත් ස්මාර්ට් දුරකථනය හා ටැබ් යන්ත්‍රය නවීන තාක්ෂණය ඔස්සේ උපයෝගී කරගෙන සිදුකළ විමර්ශනයේදී ඇගේ ජංගම දුරකථනයේ සංඥාවලට අනුව එම දුරකථනය අවුකන දුම්රියපළ ආසන්නයේ රැඳී ඇති බව නිලධාරීන්ට වැටහුණේය. ඒ අනුව අවුකන දුම්රියපොළ ආසන්නයේ මෙහෙයුමක් දියත් කළද එය සාර්ථක වූයේ නැත.
පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගල්නෑව පොලිස් ස්ථානාධිපති මුණසිංහ දැනුවත් කරමින් ඒ අවට ස්ථාන කිහිපයක සැකකරු අත්දැයි සොයන ලෙස දැනුම්දී තිබුණේය. එමෙන්ම තට්ටයක් ඇති අයකු සොයන ලෙස මුලින් දැනුම්දී තිබුණද පසුව කොණ්ඩය කොටටම කපන ලද පච්චයක් කෙටූ පුද්ගලයකු අදාළ සිද්ධියේ සැකකරු බවට ගල්නෑව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබිණි.
මෙහිදී අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ පෞද්ගලිකව ගල්නෑවට ගොස් නිලධාරීන් දිරිමත් කිරීම විශේෂත්වයක් වූයේය. ඔහුගේ උපදෙස් මත ගල්නෑව පොලිස් ස්ථානාධිපති මුණසිංහ සිය කණ්ඩායමක්ද සමඟ කොණ්ඩය කොටටම කපන ලද පච්චයක් කොටා ඇති පුද්ගලයකු සොයා ගල්නෑව පොලිස් වසම තුළ පුළුල් විමර්ශනයක් අරඹමින් ඒ හැඩරුව ඇති සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක නිරත විය.
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස්වලට අනුව සැකකරු අයි.ආර්.සී. පුද්ගලයකු බව ගල්නෑව පොලිස් ස්ථානාධිපතිවරයාට සැකයක් ඇති විය. ලියාපදිංචි අපරාධකරුවකු වන ඔහුගේ ඡායාරූපද ගල්නෑව පොලිස් ස්ථානාධිපතිවරයා සතු විය.
ඊට හේතුව වූයේ ඔහු මීට පෙරද වැරැදි කිහිපයකට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටීමය. හමුදා මේජර්වරයකුගේ නිවෙසකට ඇතුළු වී එහි භාණ්ඩ සහ මුදල් සොරාගැනීම ඔහුට එල්ල වූ එක් චෝදනාවක් විය. ඊට අමතරව ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන්ද මොහු අත්අඩංගුවට පත්ව තිබිණි. වෛද්‍යවරියගේ ප්‍රකාශයට අනුව මෙම පුද්ගලායාද එම හැඩරුවට සමාන වූ අතර ඔහු ඒ වන විට බන්ධනාගාර ගතව ඇති බව නිලධාරීන්ට වැටහුණේය. ඒ අනුව නිලධාරීන් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන්ද කරුණු කාරණා විමසුවේය. එහිදී අනාවරණය වන්නේ ඔහු ඊට දිනකට පෙර බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව ගිය බවය.
ඒ අනුව සැකකරු ගැන තවත් සැක ඇති කරගත් උසස් නිලධාරීන් සැකකරුගේ පදිංචිය ගල්නෑව ප්‍රදේශයේ බැවින් ඔහු ගැන වහා අවධානය යොමු කරන ලෙසද ගල්නෑව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නේය.
ගල්නෑව පොලිස් ස්ථානාධිපතිවරයා ලැබුණු තොරතුරු මත ප්‍රදේශ කිහිපයක්ම දැඩි සෝදිසියකට ලක් කරමින් අවසානයේ ගල්නෑව නිදිකුම්බායාය ප්‍රදේශය පීරන්නට විය. ඒ සැකකරු සොරාගෙන ගිය ස්මාර්ට් දුරකථනයේ සංඥාවලට අනුව ඔහු එම ප්‍රදේශයේ සැඟව සිටින බවට ඇති වූ සැකය මතය.
ගල්නෑවම පීරමින් සැකකරු සොයා ගිය නිලධාරීන් සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය පදිංචි නිදිකුම්බායාය ප්‍රදේශයේ නිවෙසද සෝදිසියට ලක් කිරීමට අමතක කළේ නැත.
”මල්ලි මෙහෙ ආවේ නැහැ”ඇය කීවාය. එහෙත් ඇගේ කතාව නිලධාරීන් පිළිගත්තේ නැත. ඒ සැකකරු ඒ අවට සැඟව සිටින බවට තාක්ෂණය ඔස්සේ තොරතුරු හෙළිවන නිසාය. නිලධාරීහු සැකකරුගේ සොහොයුරියගේ නිවෙස සෝදිසි කළහ. ඇය සන්තකයේ තිබී ජංගම දුරකථනයක් නිලධාරීන් සොයාගන්නේ එම පරීක්ෂාවේදීය. එම දුරකථනය නිලධාරීන් සිය භාරයට ගෙන ඇයද සිය භාරයේ රඳවා ගත්තේය. ඉන්පසු නිලධාරීන්ගේ අවධානය යොමුවූයේ ඉදිරියේ ඇති රක්ෂිතය වෙතය. රක්ෂිතය තුළ සැකකරු සැඟව ඇති බව නිලධාරීන්ට තහවුරු විය.
වහා මේ බව උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු මුළු ගල්නෑවම ආවරණය වන පරිදි රක්ෂිතය සෝදිසි කිරීමේ මෙහෙයුම ඇරැඹුවේ මහ වැසි ඇදහැලීමද නොසලකාය. විශේෂ කාර්ය බළකායට අමතරව එප්පාවල, තලාව, ගල්කිරියාගම, තඹුත්තේගම, ඉපලෝගම, මඩාටුගම ආදී වසම් රැසකින් පොලිස් කණ්ඩායම් කිහිපයක් ගල්නෑව පොලිස් වසමට යැවූ නිලධාරීන් ගල්නෑව පොලිස් වසමෙන් කිසිවකුට පිටවීමට හෝ ඊට ඇතුළුවීමට නොහැකි වන අයුරින් වසම ”සීල්” කරමින් ප්‍රදේශ රැසක මාර්ග බාධක යොදවමින් එස්.ටී.එෆ්. සේනාංකද සමඟ රක්ෂිතයට ඇතුළු වූහ. පැය කිහිපයක් පුරා රක්ෂිතය සෝදිසියට ලක්කෙරිණි. මෙහෙයුම සාර්ථක විය.
රක්ෂිතයේ කැලෑබද කොටසක එරමිනියා කටු පඳුරකට මුවාවී සැඟව සිටි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඔය අතරය. ඔහුගේ උඩුකය නිරාවරණය වී තිබිණි. නිලධාරීන් ඔහුගෙන් ඇඳ සිටි ඇඳුම් ගැන විමසුවේය. මහ වැස්සෙන් තෙමුණු සැකකරු ඇඳුම් උනා රක්ෂිතයේ වාඩියක් තුළ එම ඇඳුම් සඟවා තිබුණේය. නිලධාරීන් එම ඇඳුම් සිය භාරයට ගත්තේය. ප්‍රශ්න කිරීමෙන් පසු වෛද්‍යවරිය බියට පත් කිරීමට උපයෝගි කරගත් උල් පිහියද රක්ෂිතය තුළ තිබී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.
”කෝ දොස්තර නෝනාගේ ෆෝන් එක” නිලධාරීන් සැකකරුගෙන් විමසුවේය.
”ඒක කැලයට විසිකළා. කොහේට විසිකළාද කියලා මතක නැහැ නිලධාරීන් වෛද්‍යවරියට අයත් ස්මාර්ට් දුරකථනය සොයා කැලය පීරුවද එය මෙතෙක් සොයාගත නොහැකි විය.
”එතකොට උඹගේ අක්කා ළඟ තිබුණ ෆෝන් එක කාගේද… ”එයද සැකකරු විසින් සොරාගනු ලැබූ දුරකථනයක් බව අනාවරණය විය. එය ඇයට ලබාදී තිබුණේ සැකකරුය. ඒ අනුව සැකකරු ඇගේ නිවෙසට නොපැමිණි බවට ඇය කීවේ බොරුවක් බව තේරුම් ගත් නිලධාරීන් ඇයවද අත්අඩංගුවට ගත් අතර ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකුද කොටුකර ගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්නෑව පොලිසියට රැගෙන ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. එහිදී අනාවරණය වන්නේ ඔහු බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව එන්නේද ඉකුත් 10 වැනිදා බවය. ඒ බව සැකකරු සිය මස්සිනාට දැනුම්දී තිබුණේය. ඒ අනුව මස්සිනා ඔහු බැහැදැකීමට 10 වැනිදා අනුරාධපුර නගරයට පැමිණ තිබිණි. ඒ රුපියල් දහසක්ද අතැතිවය.
”රුපියල් දාහෙන් මොනව කරන්නද. ඔන්න ඕක දීලා පලයන්. මම හවස් වෙලා එන්නම්”සැකකරු මස්සිනාට එසේ පවසා තිබිණි. එහෙත් ඔහු අත මුදල් නොවීය. ඔහු ඒ වන විටත් මත්ද්‍රව්‍ය පානයටද ඇබ්බැහිව සිටියේය. ඒ සඳහා මුදල් අවශ්‍ය බව දත් සැකකරුට මුදල් හෝ රන් අභරණ කොල්ලකෑමේ අදහසක් ඇතිවන්නේ ඒ මොහොතේදීය. ඒ සඳහා ඔහු වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ලට ඇතුළු වන්නේ ඉන් පසුවය. එහෙත් ඔහුට නේවාසිකාගාරයේ කාමරයකට ඇතුළුවීමට හැකියාව නොවීය.
ඒ, එම කාමර වසා දමා තිබූ නිසාය. රෝහල් වෛද්‍යවරිය ත්‍රීවීලරයකින් එම නේවාසිකාගාරයට පැමිණෙන්නේ ඔය අතරය. ඒ බව දුටු සැකකරු ඇය කාමරය අසලට පැමිණෙන තෙක් සැඟව සිටින්නේය. සියල්ල සිදුවන්නේ ඉන් අනතුරුවය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හමුදාවෙන් පලාගිය තැනැත්තෙකි. එමෙන්ම සැකකරු කලක් පැවිදිව සිටි අයෙකි. 34 හැවිරිදි ඔහු ගල්නෑව ප්‍රදේශයේ පාසලක හත්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබා ඇති අතර 2009 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 වැනි ගජබා රෙජිමේන්තුවට බැඳී තිබේ. හමුදා සේවයේ යෙදී සිටියදී ආබාධයකට ලක්ව ඇති මොහු පසුව නොදන්වා යුද හමුදා සේවයෙන් ඉවත්ව ඇත.
පසුව නොයකුත් අපරාධවලට සම්බන්ධව ඇති මොහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී 2024.11.30 වැනි දින බන්ධනාගාරයෙන් පලාගොස් ඇති අතර පසුව ගල්කිස්ස ප්‍රදේශයේ නිවෙසක් බිඳ දේපළ සොරා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්ව ඇප මත මුදාහළ අයෙකි. පසුව 2023 වර්ෂයේදී කුරුණෑගල විහාරස්ථානයකින් පැවිදි දිවියට ඇතුළත් වී වරෙක එහි තිබූ දේපළ හොරකම් කිරීම සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ලවී තිබිණි. ඉන් අනතුරුව උපැවිදි වී ඇති මොහු පසුව විවාහයක්ද කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය. ඊට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙතටද ඉදිරිපත් කර තිබිණි.
කෙසේ වෙතත් සැකකරු මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු ඉතා අපහසුතාවෙන් සිටින අයුරු මහෙස්ත්‍රාත්වරයාටද නිරීක්ෂණය විය. ඒ අනුව ඔහු නැවත විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
පසුව සැකකරු පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර දුන්නේය. මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේ 34 හැවිරිදි හිටපු හමුදා සෙබළකු වූ නිලන්ත නමැත්තකුය.
මේ අතර සැකකරුට නවාතැන් පහසුකම් ලබාදෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඔහුගේ සොහොයුරියද මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.
පැය 48ක රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරණ සැකකරුගේ ප්‍රකාශ මත ගල්නෑව තැන්නල්යාය ප්‍රදේශයේ නිවෙසක කාමරයක පාර්සලයක තිබී සිවුරක්, පාත්තරයක්, වටාපතක් සහ අත්බෝම්බයක් ගල්නෑව පොලිසිය විසින් ඉකුත් සිකුරාදා සොයාගෙන ඇත.
රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියට අදාළ සැකකාර සෙබළා පැය 36ක් යන්නටද මත්තෙන් කොටුකර ගැනීමට අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයවීර සහ ගල්නෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ ඇතුළු නිලධාරීන් ගත් උත්සාහය ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්විණි.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන, උතුරු මැද දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මෙම විමර්ශනය පැවැත්විණි.
කීර්ති මෙන්ඩිස්
මව්බිම