මෝටර් රථයේ ඉදිරිපස රෝදය අඩ කිරීමට තබා තිබූ ගල ඉවත් කිරීමත් සමඟ සිදු වූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජානකී දීප්තිකා ජයවර්ධන මහත්මිය අවාසනාවන්ත ලෙස මිය ගියාය.
මෙම අනතුර සිදුවූ ආකාරය ගැන මරණ පරීක්ෂණයේදී කරුණු හෙළිව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.
මියගිය කථිකාචාර්යවරියගේ පුත්‍රයා වන දුලන චන්දිම ජයවර්ධන (32) සාක්ෂි දෙමින් සිදුවීම විස්තර කළේය.
"කාර් එකේ ඉදිරිපස රෝදයේ අඩයට තබා තිබූ ගල ඉවත් කිරීමත් සමඟම එක එකපාරටම පහළට ධාවනය වුණා. මමයි, නෝනයි, අම්මයි තුන්දෙනාම කාර් එක අල්ලගෙන නවත්වා ගන්න උත්සාහ කළත් කාර් එක පහළටම ගියා. අපි දෙන්නා දෙපැත්තට පැන්නත්, අම්මා කාර් එකට යට වුණා," යනුවෙන් දුලන ජයවර්ධන පැවසීය.
කොහුවල, ජයසුමනාරාම පාරේ පදිංචිව සිටි ආචාර්ය ජානකී දීප්තිකා ජයවර්ධන මහත්මිය දෙදරු මවක් වන අතර, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පිළිබඳ විද්වත් අධ්‍යයන රැසක් සිදු කර ඇති ඇය එක්සත් රාජධානියේ යෝක් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ.
"මගේ තාත්තා කිතුල්ගල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යනවා. ඉකුත්දා (7) අම්මයි, මමයි, නෝනයි, දින තුනක කාලයක් එහේ නවතින්න යන්න සූදානමින් තමයි හිටියේ. මගේ කාර් එක නිවෙසින් ඉදිරිපස මාර්ගයට ගත්තත් එහි යම් දෝෂයක් හේතුවෙන් එකවරම ඇන්ජීම නැවතුණා. කාර් එකේ ඉදිරිපස දකුණු පස රෝදයට අඩයට ගලක් තබා අපි (පික්මි) කුලී මෝටර් රථයක යන්න අදහස් කළත් අපගේ බඩුබහිරාදිය ගොඩක් තිබුණු නිසා ඒ අදහස ද අත්හැරියා.
ඒ වන විට දවල් 1.10ට පමණ ඇති. මගේ කාර් එක නවත්වා තිබ්බේ නිවෙස ඉදිරිපිට මාර්ගයේ බෑවුම දෙසට මුහුණලායි. මම කිව්වා මේකෙම කොහොම හරි යමු කියලා. මම ඩ්‍රයිවින් සීට් එකේ අසුන්ගෙන ඉඳිද්දී නෝනයි අම්මයි ඉදිරිපස රෝදේ අඩේට තබා තිබූ ගල ඉවත් කිරීමට උත්සාහ කළත් බැරිවුණා. පසුව මම ඩ්‍රයිවින් සිට් එකෙන් බහින කොටම වගේ අම්මා ගල ඉවත් කළා. ඒත් එක්කම කාර් එක පහළට ධාවනය වුණා.
අපි තුන්දෙනාම කාර් එක ඉදිරිපසට ගිහින් වැර යොදා එය වැළැක්වීමට උත්සාහ දැරුවත්, එය නතර කරන්න බැරි බව වැටහුණු නිසා අපි දෙපැත්තට පැන්නා. ඒත් අම්මට පනින්න බැරි වුණා. එයා කාර් එකට යට වුණා. ඒත් එක්කම කාර් එක ගිහින් නිවෙසක් ඉදිරිපිට තාප්පයක වැදිලා නතර වුණා. අපි දූවල ගියා කාර් එක ගාවට ඒත් අම්මව පිටතට ගන්න විදිහක් නැහැ. කාර් එකට යට වෙලා. අපි කෑ ගැහුවා අසල්වාසීන් දුවගෙන ඇවිත් අපි සියලු දෙනාම කාර් එක උස්සන්න බැලුවත් අපට ඒක කරන්න බැහැ. පස්සෙ ගරාජයකින් ලොකු ජැක් එකක් ගෙනල්ලා ඒක ගහලා තමයි කාරක උස්සලා අම්මාව පිටතට ගත්තේ. ඒ වෙනකොට විනාඩි තිහකට ආසන්න කාලයක් ගතවෙලා. අම්මා රෝහල් ගත කළත් අම්මා මිය ගිහින් බව දැන ගත්තා," යනුවෙන් දුලන ජයවර්ධන තවදුරටත් සඳහන් කළේය.