ආනයනික වාහන වරායෙන් නිදහස් කිරීමට ප්‍රමාදවී ඇත්තේ වාහන ආනයනකරුවන් අදාළ ලේඛන නිසියාකාරව රේගුවට ලබාදීමට කටයුතු නොකිරීම නිසා බවත්, අදාළ ලියකියවිලි කඩිනමින් සම්පූර්ණ කර රේගුවට බාර දෙන්නේ නම් වාහන ඉක්මණින් නිදහස් කෙරෙන බවත් රේගුව පවසනවා..
ජපානයෙන් පැමිණි නැවේ වාහන 201 ක් පැවැති බවත්, තායිලන්තයෙන් වාහන 15 ත් 20ත් අතර සංඛ්‍යාවක් ආනයන කර තිබූ බවත් රේගුව පවසන අතර, ජපානයෙන් වාහන 201 සහිත නැව මෙරටට පැමිණ ඇත්තේ මීට සතියකට ආසන්න කාලයකදීයි..
අදාළ වාහනවල නිෂ්පාදිත වර්ෂය, මාසය ආදී ලේඛන ආනයනකරුවන් රේගුවට ලබාදීම ප්‍රමාදවී ඇති අතර, වාහන මෙරටට ආනයනය කිරීමෙන් පසු ඒවා නිදහස් කරගැනීම සඳහා හම්බන්තොට වරාය විසින් දින 07 ක කාලයක්ද, කොළඹ වරාය විසින් දින 03 ක කාලයක්ද ලබාදෙන අතර, එම කාලයට බිම් කුලියක් අය නොකෙරෙන බවයි වාර්තා වෙන්නේ..
කෙසේ නමුත්, අදාළ ලේඛන සම්පූර්ණ කරන ලද වාහන 05 ක් පමණ රේගුව විසින් නිදහස් කර ඇති අතර, 2022 වසරේ නිෂ්පාදනය කරන ලද වාහන කීපයක්ද පැවැති බවත්, එම වාහන රේගු පරීක්ෂණයට ලක්කළ බවත්, 2022 වසරේ මාර්තු මාසයෙන් පසුව නිෂ්පාදනය කරන ලද වාහන නිදහස් කරන බවත්, එම වාහන නිදහස් කිරීමටද අදාළ ලේඛන ලැබිය යුතු බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසා තිබුණා..
2022 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළදී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කර තිබෙන බවත්, එම වාහනවලින් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෝටර් රථ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා..
එසේම මෙම මස 15 වැනිදා ජපානයෙන් වාහන 500 ක් 600 ක් පමණ රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත බවද රේගු ආරංචි මාර්ග පවසනවා..
කෙසේ නමුත් වාහන ආනයනකරුවන් කියා සිටින්නේ වාහන නිදහස් කරගැනීමට අදාළව රේගුවේ ප්‍රමාදයක් පවතින බවයි.. එම චෝදනාව රේගුව ප්‍රතික්ෂේප කරන්නේ.. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අතර, එහිදී ආනයන අපනයන පාලක ජනරාල්වරිය වන උපුල්මලී ප්‍රේමතිලක කියා සිටියේ HS Code 304 ක් යටතේ වාහන ආනයනය කිරීමට අවසරය ලබාදී තිබෙන බවයි..
මෙලෙස ආනයනය කරන වාහන දින 90 ක කාලයක් තුළදී ලියාපදිංචි කළයුතු බවත්, එසේ ලියාපදිංචි කිරීම ප්‍රමාද වුවහොත් පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනයට අදාළ වටිනාකමින් (CIF Value) සියයට 45 ක උපරිමයකට යටත්ව සියයට 3 බැගින් දඩ මුදලක් අය කෙරෙන අතර, එමෙන්ම, ආනයනය කරන ලද වාහන ප්‍රමාණයෙන් සියයට 25 ක් මාස හයක කාලයක් තුළදී ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් අදාළ ආනයනකරුගේ ආනයන අවසරය නතර කෙරෙන බවද මෙම කාරක සභාවේදී අනාවරණය වී තිබුණා..