පසුගිය දිනක අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් හැඳල වත්තල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගෙන තිබුණා... මේ කියන්න හදන්නේ ඒ බිහිසුනු ඝාතනයේ සුල මුල හෙළිකරන කතාව ගැනයි...
චම්ලී හර්මන් වාහන අලෙවිකිරීම් මෙන්ම ඉඩකඩම් විකිණීමද කරගෙන ගිය අතමිට සරු ව්‍යාපාරිකයෙක්. තිදරු පියකු වූ ඔහු බිරියගෙන් වෙන්ව හැඳල මාතාගොඩ ශාන්ත සෙබස්තියන් මාවතේ දෙමහල් නිවෙසක තනිව ජීවත් වෙයි. නීත්‍යනුකූලව දික්කසාද වී නැතත් නඩත්තු නඩුවක්ද ඔහුට එරෙහිව
අධිකරණයේ විභාග වෙමින් පවතිනවා...
බිරිය හා දරුවන් ඔහු පදිංචි නිවෙසේ සිට කිලෝමීටර් එකහමාරක පමණ දුරින් පිහිටි අල්විස් ටවුමේ නිවෙසක පදිංචිව සිටින අතර බිරිය සමඟ වෙන්වී ජීවත් වුවද ඔහු සිය දරුවන්ගේ අවශ්‍යතා සඳහා නොපැකිළිව ඉදිරිපත් වුණා...
වසර හතරක් පහක් තිස්සේ දෙදෙනා එක වහලක් යට පවුල් කා නැතත් සමහරක් ප්‍රියසම්භාෂණ උත්සවවලටද ඔහු බිරිය හා දරුවන් සමඟ එක්ව තිබෙනවා...
දෙමහල් නිවෙසක ජීවත් වූ ඔහුගේ නිවෙස සහ වත්ත ශුද්ධ පවිත්‍ර කිරීම් සඳහා උදවු -පදවු කළේ ඒ අවටම පදිංචි ළහිරු නමැත්තෙක්. බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ ‘ පොලා’ යන නමින්.
වසර කිහිපයකට පෙර පොලාගේ මවද හර්මන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිට ඇති අතර, ඒ දැන හැඳුනුම්කම් මත පොලා හර්මන්ගේ නිවෙසේ සේවයට එක්කාසු වී තිබේනවා.... සතියට වරක් දෙවරක් පොලා හර්මන්ගේ නිවෙසට ගොස් නිවෙස ශුද්ධ පවිත්‍ර කොට වත්තේ වැඩ කරදෙන අතර සවස් කාලය වන විට ඔහු ගලගහදුව ප්‍රදේශයේ පදිංචිව සිටින සිය නිවෙසට යෑම පුරුද්දක් කරගෙන තිබුණා... ඔහු බිරිය සහ මාස 8ක් වයසැති දරුවා නඩත්තු කිරීම කරගෙන යන්නේ හර්මන්ගෙන් ලැබෙන මුදලෙන් සහ කුලී වැඩක් කර උපයාගන්නා සොච්චමෙන්...
“ මම මේ ගෙදර තනියමනේ ඉන්න. උඹටත් ඕනෑ නම් මේ ගෙදර මගේ තනියට ඉන්න පුළුවන්. නැත්නම් උඹේ ගෑනිවයි ළමයාවත් අරගෙන ඇවිත් උඩ තට්ටුවේ නතර වෙලා ඉඳපන් ”
හර්මන් නිතර දෙවෙලේ පොලාට කීවත් පොලා ඊට එතරම් කැමැත්තක් දක්වා තිබුණෙත් නැහැ. හර්මන්ගේ නිවෙසේ නතර නොවූවත් ඔහුට අවශ්‍ය වතුපිටි වැඩ මෙන්ම දෙමහල් නිවෙස ශුද්ධ පවිත්‍ර කිරීම් පොලා නොපිරිහෙළා ඉටුකර ඇති අතර ඒ සඳහා මුදලක්ද හර්මන් ඔහුට ගෙවා තිබුණා...
කෙසේ වෙතත් ඉකුත් පෙබරවාරි 27 වැනිදා වත්තල පොලිසියට ලද දුරකථන ඇමතුමකින් කියැවුණේ දින කිහිපයකින්ම හර්මන් පෙනෙන්නට නොවූ බවත් ඔහුගේ දෙමහල් නිවෙස දෙසින් කිසියම් දුඟදක් හමන බවක්. එමෙන්ම නිවෙසේ විදුලි ආලෝකයද දල්වා නැති බවත්....
සිද්ධිය සැලවීමත් සමඟ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අමිල ඇතුළු කණ්ඩායමක් හර්මන් පදිංචිව සිටි ශාන්ත සෙබස්තියන් ප්‍රදේශයට ගිය අතර ඒ වන විටත් ඔහුගේ බිරිය හා පුතකු හර්මන්ගේ නිවෙසට පැමිණ සිටින අයුරු නිලධාරීන්ට දැකගත හැකිවුණා...
“අපිටත් අහල – පහල කෙනෙක් කතා කරලා කිව්වේ. අපි එනකොට ගේට්ටුවට ඉබ්බෙකුත් දාලා. දම්වැලකුත් දාලා වහලා තිබුණේ. අපි ඒ දම්වැල කඩලා ඇතුළට ආවා. හැබැයි ඉස්සරහ දොර ලොක් කරලා තිබුණේ නැහැ. ”
හර්මන්ගේ බිරිය පොලිස් නිලධාරීන්ට එසේ පැවැසූ අතර නිලධාරීන්ද නිවෙසට ඇතුළු වී පිරික්සද්දී දුගඳ හමා එන්නේ පහළ මාලයේ කාමරයකින් බව වැටහී තිබුණා... ඒ දුර්ගන්ධය ඔස්සේ එම කාමරයට ඇතුළු වූ නිලධාරීන්ට නරක් වී කළු පැහැ ගැන්වී තිබූ හර්මන්ගේ මළසිරුර දැකගත හැකි වෙලා... කාමරයේ ඇඳ මත තිබූ හර්මන්ගේ මළසිරුර දුටු නිලධාරීන්ට වැටහුණේ ඔහු දින ගණනාවකට පෙර මිය ගොස් ඇති බවයි....
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිස් ස්ථානාධිපති අනුර ගුණවර්ධන දැනුවත් කිරීමට පියවර ගනු ලැබූ අතර ඔහුද හර්මන්ගේ නිවෙසට පැමිණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දී සිද්ධිය වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙතද දන්වනු ලැබුවා..
ඉන් අනතුරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වයඹ භාර පොලිස් අධිකාරිවරයාද දැනුවත් කෙරුණු අතර ඔවුන්ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස සොකො නිලධාරීන්, ඇඟිලි සලකුණු නිලධාරීන් මෙන්ම නිල සුනඛයාද හර්මන්ගේ නිවෙසට කැඳවනු ලැබුවා..
ඒ සමඟම වැලිසර වැඩබලන මහෙස්ත්‍රාත්වරයාද සිද්ධිය වූ හර්මන්ගේ නිවෙසට පැමිණි අතර රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාද සිදුවීම නිරීක්ෂණය කිරීමට පැමිණීම විශේෂත්වයක් ගෙන දුන්නා..
හර්මන්ගේ සිරුර අධික ලෙස නරක් වී තිබීම නිසා ඔහු මියගිය ආකාරය සොයා ගැනීම ඉතා අසීරු වූ බැවින් සාමාන්‍ය මරණයක් හැටියට පොලිසිය විමර්ශන ඇරැඹූ අතර වැඩබලන මහෙස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතාගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු හර්මන්ගේ සිරුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවා... ඒ හර්මන් මියගිය ආකාරය දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමේ අදහසින්...
පසුව රාගම රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ තියුණු ආයුධයකින් ගෙලට සිදුකළ බරපතළ හානි නිසා හර්මන්ගේ මරණය සිදුව ඇති බවයි... ඒ අනුව හර්මන්ගේ මරණය මිනීමැරුමක් ලෙසට තහවුරු වුණා... විමර්ශන ඇරැඹෙන්නේ ඒ ඔස්සේ...
නිලධාරීන්ගේ උකුසු ඇස් එල්ල වූයේ නිවෙසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා වෙතයි... ඒ හැරෙන්නට කිසිදු හෝඩුවාවක් පොලිසිය සතුව තිබුණේ නැහැ.. ගෙනෙන ලද නිල සුනඛයාද නිවෙසින් පිටට මඳ දුරක් ගොස් නතර වුවද එයින්ද සාර්ථක හෝඩුවාවක් ලබා ගැනීමට නිලධාරීන්ට හැකි වුණේ නැහැ..
“ අපි හර්මන්ගේ ගෙදර සවිකරලා තිබෙන සී.සී.ටී.වී. චෙක් කළා. අපිට පෙනුණා උඩ තට්ටුවේ තියෙන කැමරාවෙයි, පහළ කැමරාවයි ඒ වල සේරම ගලවගෙන ගිහින් කියලා. අපි සැක කළා හර්මන්ගේ ගෙදරට ඇවිත් හර්මන් මරපු කෙනා තමයි ඒවා ගලවගෙන යන්න ඇත්තේ කියලා. ඒ වගේම ඒ පුද්ගලයා නිතරම හර්මන්ගේ ගෙදරට ආගිය පුද්ගලයෙක් වෙන්න ඕනෑ කියලත් අපි හිතුවා.”
හර්මන්ගේ ගෙදර සී.සී.ටී.වී. කැමරා ගලවගෙන ගිහින් තිබුණු නිසා හර්මන්ගේ ගෙවල් වටේ තියෙන අනෙක් සී.සී.ටී.වී. චෙක් කළා.”
නිලධාරියෙක් විමර්ශන ඇරැඹූ ආකාරය එසේ කීවේය. එම කැමරා පරීක්ෂාවේදී නිලධාරීන්ට බොහෝ කරුණු කාරණා දැකගත හැකි වුණා...
“අහල-පහල කැමරා චෙක් කරද්දී පෙබරවාරි 19 වැනිදා හර්මන් එයාගේ වාහනයෙන් ගෙදරට එන දර්ශන රූ ගත වෙලා තිබුණා. ඊට ටිකකට පස්සේ පුද්ගලයෙක් බයික් එකකින් හර්මන්ගේ ගෙදරින් පිටවෙන දර්ශනත් නැවැත බයික් එකෙන්ම ගෙදරට එන දර්ශනත් තිබුණා. ඒත් අපිට ඒ කවුද කියලා හඳුනාගන්න බැරිවුණා.”
තවත් රූප රාමුවක තිබුණා එදාම සවස රතුපාට ත්‍රීවීලර් එකක් හර්මන්ගේ ගෙදරට එනවා. ඒක පිටුපස්සේ තව කෙනකුත් ඉන්නවා. විනාඩි ගාණකට පස්සේ ඒ ත්‍රීවීලර් එක පිට වී යනවා. ආයේත් ඒක හරවගෙන එනවා. පිටිපස්සේ හිටිය පුද්ගලයා කලබලයෙන් හර්මන්ගේ වත්ත ඇතුළට යනවා. ආයේත් ඒ පුද්ගලයා ත්‍රීවීලර් එකේ නැඟලා යනවා. ඔන්න ඔය නිසා අපිට සැකයකුත් ඇති වුණා.”
අනිත් එක තමයි 19 වැනිදායින් පස්සේ 27 වැනිදා වෙනකම් ඒ කියන්නේ හර්මන්ගේ මිනිය හොයා ගන්නකම් කිසිම සී.සී.ටී.වී. දර්ශනයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි සැක කළා හර්මන්ව මරන්න ඇත්තේ 19 වැනිදා කියලා. මරලා දින 8කට පස්සේ තමයි හර්මන්ගේ මළසිරුර හම්බවෙන්නේ.”
විමර්ශන නිලධාරියා වැඩිදුරටත් එසේ සඳහන් කළා... නිලධාරීන්ට කිසියම් හෝඩුවාවක් ලැබුණේ එම සී.සී.ටී.වී. රූප රාමු හරහායි... ඒ අනුව හර්මන්ගේ නිවෙසට යන එන ත්‍රිරෝද රියේ අංකය හඳුනාගත් නිලධාරීන් ඒ ඔස්සේ විමර්ශන ඇරැඹුවා..
විමර්ශනයේදී හෙළිවන්නේ එම ත්‍රිරෝද රථය ගලගහදුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවයි. නිලධාරීන් ඔහු සොයා ගලගහදුවට ගියේ ඉන්පසුවයි..
“සර් ඕක මගේ ත්‍රීවීලර් එක. සමහරදාට මගේ පුතාත් ඕක අරගෙන යනවා. මම හිතන්නේ එදා ඕක පුතා වෙන්න ඕන අරගෙන යන්න ඇත්තේ”
ත්‍රීවීලරයේ හිමිකරුගේ ප්‍රකාශයෙන් පසු නිලධාරීහු ඔහුගේ පුතා සොයා ගියා...
“මේ සී.සී.ටී.වල ඉන්නේ තමුන් නේද”?
“ ඔව් සර්? ”
“ තමුන් එදා කොහෙද ගියේ ”
“සර් හර්මන් මහත්තයාලා ගෙදර ඉඳන් පොලා මට කෝල් කරලා කිව්වා වත්තේ පොල් ටිකක් කඩා ගන්න ඕන. හර්මන් මහත්තයාගේ ගෙදරට වරෙන් කියලා. මම පොලාව දන්නවා සර් . පස්සේ මම සෆික් කියන මගේ යාළුවත් දාගෙන හර්මන් මහත්තයගේ ගෙදරට ගියා. ”
“අපි වත්තේ ගස් දෙක තුනක පොල් කැඩුවා. කරපිංචා ගහෙන් කරපිංචා අතු ටිකකුත් කැඩුවා. අපිටත් පොල් ගෙඩි දෙක තුනකුයි කරපිංචා අතු ටිකකුයි පොල් කැඩුවට සල්ලියි දුන්නා. අපි ඒක අරගෙන ත්‍රීවීලර් එකේම ගෙදර ආවා. ඒ හැරෙන්නට වෙන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඒ වෙලාවේ හර්මන් මහත්තයත් ගෙදර හිටියා. මහත්තයම තමයි පොල් කැඩුවට සල්ලිත් දුන්නේ. ”
“ එතකොට උඹලා පොල් කඩලා ගිහින් ආයෙත් ත්‍රීවීලර් එක හරවගෙන ආවේ ඇයි? ”
නිලධාරීන් ඔහුගෙන් විමසුවේය.
“මාත් එක්ක ආව යාළුවාගේ පර්ස් එක ගහක් මුල අමතක වෙලා ආවා. ඒක ගන්න තමයි ආයෙත් ඒ ගෙදරට ගියේ. ”
“කවුද ඔය පොලා කියන්නේ ?”
“ සර් රෝහිණිගේ පුතා තමයි පොලා හර්මන් මහත්තයගෙ ගෙදර සුද්ද කරන්නේ. තීන්ත ගාන්නේ, වත්තේ වැඩ කරන්නේ පොලා සර්. ඌ ඉන්නේ ගලගහදුවේ. ”
ඔවුන්ගෙන් එලෙස තොරතුරු ලබාගත් නිලධාරීන් ගලගහදූවට ගොස් පොලා ගැන විපරම් කළද ඔහු නිවෙසේ තියා ඒ පැත්ත පළාතක වත් හිටියේ නැහැ. එහෙත් නිලධාරීන් ඔහු සෙවීම අමතක කළේද නැත. පසුව දැනගන්නට ලැබුණේ ඔහු බලගලවත්ත ප්‍රදේශයේ රැඳී සිටින බවයි. හර්මන්ගේ ඝාතනයට පොලාගේ සබඳතාවක් ඇති බව ත්‍රීවීලර් රියැදුරාගේ සාක්ෂියෙන් මෙන්ම සී.සී.ටී.වී. කැමරා දත්තවලින්ද නිලධාරීන්ට තහවුරු වෙලා තිබුණා...
ඒ අනුව පොලාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේද විමර්ශන ඇරැඹුවා...
ඒ අනුව ඉකුත් දෙවැනිදා සැකකාර පොලා නායකකන්ද ප්‍රදේශයේ සිට බලගලවත්ත දෙසට පැමිණෙමින් සිටින බවට අපරාධ විමර්ශන නිලධාරීන්ට ඔත්තුවක් ලැබී තිබුණා... ඒ අනුව පොලා වත්තල මාතාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත් වුණා...
“ඇයි හර්මන් මහත්තයව මැරුවේ” නිලධාරීන් ඔහු ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කරමින් ප්‍රශ්න කිරීම ඇරැඹුවා...
“එදා මම මහත්තයාගේ ගෙදර ගියා. ගෙදර අතුපතු ගාලා ගේත් මොබ් කරලා දුන්නා. ජනෙල්වල තීන්තත් ගාලා දුන්නා. පොල් කඩලත් දුන්නා. ”
“ ගෙදර එකතුවෙලා තිබුණු හිස් බෝතල් වගයක් බෝතල් කඩේට ගිහින් දුන්නා. ඔය සී.සී.ටී.වී. කැමරාවල තියෙන්නේ මම ඒවා දෙන්න බයික් එකේ යන පින්තූර සර්… ”
“හරි හරි. අපි ඇහැව්වේ ඇයි උඹ ඒ මහත්තයව මැරුවේ කියලයි… ”
“ හවස සර් මට මහත්තයා සල්ලි දුන්නා අරක්කු බාගයකුයි බයිට් එකකුයි ගේන්න කියලා. මම ඒකත් ගෙනාවා. අපි දෙන්නම ඒ බාගේ බිව්වා. ”
“ පස්සේ මම යන්න හදනකොට මහත්තයා මට යන්න දුන්නේ නැහැ. මට ගෙදර ඉන්න කිව්වා. මගේ නෝනයි දරුවයි ගෙනත් ඒ ගෙදර උඩ තට්ටුවේ ඉන්න කිව්වා. මම බැහැ මට ගෙදර යන්න ඕන කිව්වා. මම කිව්වා එහෙනම් මගේ වයිෆ්ට කෝල් එකක් අරන් කියන්න මම අද මෙහෙ නතරවෙනවා කියලා. වයිෆ්ට කෝල් කළත් එයා ආන්සර් කළේ නැහැ. පස්සේ මම ගෙදරින් යන්න යනකොට මහත්තයා ගේට්ටුව ළඟට ඇවිල්ලත් මට යන්න එපා ඉන්න කිව්වා. මට තරහා ගියා. මම දැක්කා පොල් කඩන්න ගත්ත පිහිය පොල් ගහක් යට තියෙනවා. මම ඒක අරගෙන…. පොලා නිලධාරීන් හමුවේ දිගටම කියාගෙන ගියේය.
“ හර්මන්ට පිහිපහර එල්ල වන්නේ ඉන් අනතුරුවයි. ඔහුගේ ගෙල ප්‍රදේශයට වක් පිහි පහරක් එල්ල වී තිබිණි. එය දරුණු කැපුම් තුවාලයක් විය. ඉන් අධික ලෙස රුධිරය ගලා ගියේය. පොලිසිය පවසන්නේ හර්මන්ට පිහිපහර 8ක් පමණ වැදී ඇති බවය. හර්මන් ගෙලට වැදුණු පිහිපහරින්ම අවසන් හුස්ම හෙළීය.
ඉන්පසුව සැකකාර පොලා හර්මන්ගේ නිවෙසේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කර ඇත. ඒ රන් ආභරණ හෝ මුදල් සොයා ගැනීමටය. අල්මාරිය මත තිබූ රන් මාලයක් සැකකරු දකින්නේ ඒ මොහොතේය. රන්මාලය සාක්කුවේ දමා ගන්නා සැකකරු ඊළඟට නිවෙසේ උඩු මහලේ සහ පහත මාලයේ ඇති සී.සී.ටී.වී. කැමරා ගලවා දමන්නේය. ඒවායේ යන්ත්‍රය මෙන්ම රවුටර්ද ගලවා දමන ඔහු හර්මන්ගේ නිවෙසට ඇතුළුවන ගේට්ටුවේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවේ වයර් කිහිපයද කපා දමා ගේට්ටුව දම්වැලකින් වසා දමා නිවෙසින් පලා යන්නේය.
ඉන් පස්සේ මෙයා ගෙදර ගිහින් මුකුත් නොදන්නවා වගේ ඉඳලා පහුවදා වත්තල උකස් කඩයකට හොරකම් කරගෙන ආව චේන් එක උකස් කරලා රුපියල් ලක්ෂ 4ක් අරන් තියෙනවා. ඒකෙන් ලක්ෂ දෙක හමාරක් පොතට දාගෙන පස්සේ ගෙදර වහලේ හදන්න කියලා ලක්ෂ 2ක් ගෑනිට දීලා තියෙනවා. ඉතුරු සල්ලි ‘ ස්පා’ යන්නයි කන්න බොන්නයි වියදම් කරලා තිබුණා. රුපියල් 35,000ක් දීලා ෆෝන් එකකුත් අරන් තිබුණා.
විමර්ශන නිලධාරියා අවධාරණය කළේය.
“උඹ බලගලවත්තෙද ඉන්නේ නැත්නම් ගලගහදුවේද. ”
“මම බලගලවත්තේ තමයි පදිංචි වෙලා ඉන්නේ සර්. ඔය සිද්ධියෙන් පස්සේ මම ගලගගදුවට ආවා. සර්ලා හර්මන් මහත්තයගෙ ගෙදරට ඇවිත් ඉන්නවත් මම දැක්කා. මම සර්ලා ඉන්න ගාවින් දෙපාරක්ම ත්‍රීවීලර් එකකින් බලාගෙන ගියා. ඒත් සර්ලා මාව සැක කළේ නැහැ. ”
සැකකාර පොලා නිලධාරීන් ඉදිරියේ කීවේය. නිලධාරීහු මුහුණට මුහුණ බලා ගත්හ. ඒත් ඒ වන විට පොලිසියට පොලා ගැන සැකයක් නොතිබීම ඊට හේතුව විය.
“කෝකටත් පොලා කියන කතාව අපි පිළිගන්නේ නැහැ. හර්මන් ගෙදර නතරවෙන්න කියපු එකට කේන්ති ගිහින් හර්මන් මැරුවා කියන එක. අපි සැක කරන්නේ පොලා ඔය ගෙදරට නිතරම යන එන නිසා ගෙදර සල්ලි තියෙන තැන් පොලා දන්නවා. ඒ සල්ලි හරි මොනව හරි ගන්න හර්මන්ව මරන්න ඇති කියලයි අපි සැක කරන්නේ.” විමර්ශන නිලධාරියා සඳහන් කළා...
සැකකාර පොලාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හර්මන්ගේ නිවෙසින් ගලවාගෙන ගිය සී.සී.ටී.වී. කැමරා, රවුටර්, සිය මවගේ නිවස ආසන්නයේ වගුරු බිමකට විසිකර තිබියදී සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වුණා...
විසිතුන් හැවිරිදි සැකකාර පොලා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කොට තිබෙනවා...
(මව්බිම...)