මේ මිහිතලයේ හැම අස්සක් මුල්ලක් නෑරම ජීවය පවතිනවා.
දිනෙන් දින සත්ව විද්‍යාඥයින්ට අලූත් ජීවීන් හමුවෙනවා.
ඒත් සමහර සත්ව විද්‍යාඥයින්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අබිරහසක් වූ ජීවීන් ද මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා.
එවැනි එක් ජීවියෙක් තමයි ‘යෙටී’ Yeti එහෙමත් නැතිනම් හිමාලයේ ‘පිළිකුල් සහගත හිම මිනිසා’ Abominable Snow Man කියලා කියන්නේ.
ටිබෙට් ජාතිකයන් ‘යෙටී’ නමින් මෙම සත්වයා හැඳින්වූවත් ආසියාවේ තවත් රටවල් කිහිපයක ම මෙවැනි සත්වයන් සිටින බව කියැවෙනවා.
ඒ ඒ රටවල විවිධ නම්වලින් මේ සත්වයා හඳුන්වනවා.
එහෙත් යෙටී කියන නමයි, වඩාත්ම ප්‍රසිද්ධවී තියෙන්නේ. ප්‍රසිද්ධ වශයෙන් යෙටී යන නමින් වූ සත්වයා ජීවත් වෙනවා යැයි කියන්නේ නේපාලයටත් ටිබෙට් දේශයටත් අයත් හිමාල කඳුකරයේ.
යෙටී ගැන අපූරු විස්තර මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයාගේ සමයේ පටන් වාර්තා වී තියෙනවා. ක්‍රිප්ටෝසූලොජිස්ට් cryptozoologists හෙවත් ගුප්ත සත්වවේදීන් අද පවා හිමාල අඩවිය ගවේෂණය කරන්නේ යෙටී ගැන සත්‍ය තොරතුරක් සොයමිනුයි.
මහා ඇලෙක්සෙන්ඩර්ට ඇසූ අපූරු කතාව
මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඉන්දියාව ආක්‍රමණය කළා.
එහිදී ඔහුට සිත් ඇදගන්නාසුලූ කතාන්දරයක් අහන්න ලැබුණා.
ඒක තමයි එහි වැසියන් නිතර කතාබහ කළ ප්‍රදේශයට ආවේණික වූ වානර මිනිසෙක් ගැන කතාවක්.
මේ වානර මිනිසා ප්‍රමානයෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා විශාලයි. වලිගයක් නෑ. කෙළින් නැගී සිට දෙපයින් ගමන් කළා.
මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඔහුගේ සේනාංකයට අණ දුන්නා මේ අපූරු වානර මිනිසෙකු අල්ලාගෙන තමා ඉදිරියට රැගෙන එන්න කියා.
ඒත් ඊට පිළිතුරු වශයෙන් ඔහුට අහන්න ලැබුණේ එම වානර මිනිසුන් ජීවත් වුණේ හුදෙකලා වූ කඳුකරයේ කඳු මුදුන්වල විතරයි කියලයි.
රෝම ඉතිහාසඥයාගේ සටහන
ඊට ශත වර්ෂ හතරකට පස්සේ ප්ලීනි නම් වයෝවෘද්ධ රෝමානු ඉතිහාසඥයා මෙම අපූරු වානර මිනිසුන් ගැන මෙසේ සටහනක් තැබුවා. ”මනුෂ්‍යයින් හා සමාන සිරුරුවලින් යුත් මෙම සත්වයින්ට හතර ගාතයෙන් මෙන්ම ගාත් දෙකකින්ද ඇවිද යාමට පුළුවනි. උන් ජීවත් වන්නේ නැගෙනහිර ඉන්දියාවේ කඳුකරයේ විතරයි”
අද්භූත සත්වයාට විවිධ නම් පටබැඳි තිබුණා...
මිනිස් හැඩහුරුකම් පෙන්නුම් කළත් වනයේ ජීවත් වන වානරයෙක් වැනි සත්වයෙක් ගැන ආසියානුවන් වසර ගණනක් තිස්සේ විශ්වාස කරනවා.
විවිධ රටවල අය මේ සත්වයාට විවිධ නම් පටබැඳ තියෙනවා. උතුරු ඉන්දියානුවන් ඌට කියන්නේ ‘නියල්මෝ’ කියලයි.
නේපාල වැසියන් ඌට කියන්නේ ‘චීමෝ’.
ටිබෙට් වැසියන් ඌව හඳුන්වන්නේ ‘යෙටී’ කියලයි.
චීන ජාතිකයින් කියන්නේ ‘යෙරන්’.
මොංගෝලියානුවන් කියන්නේ ‘අල්මාස්’.
මලයාසියානුවන් කියන්නේ ‘මාවා’.
මේ මොන නමින් හැඳින්වූවත් මේ හැම නමක ම ඇත්තේ එකම එක තේරුමයි.
ඒ ‘මිනිසා’ යන්නයි.
හිමාලයේ හිම මිනිසා මොන වගේද ?
විවිධ නම්වලින් හැඳින්වුවත් මෙම සත්වයාගේ හැඩරුවත් සමානයි.
මේ සත්වයා ජීවත් වන්නේ කඳුකරයේ හිමෙන් වැසුණු තැන්වලයි... මීටර් 7 ත් 10 ත් අතර උස ප්‍රිමටාවෙක් එහෙමත් නැත්නම් අගේ‍්‍රෂියෙක් විය හැකි, වනගතව ජීවත් වන මෙම සත්වයාගේ හිසේ සිට දෙපතුළ දක්වාම ලෝමවලින් එහෙමත් නැතිනම් දිග කෙස්වලින් පිරිලයි, තියෙන්නේ. කකුල් දෙකෙන් ඇවිදියි. වාසය කරන්නේ හුදෙකලා වූ පාළු උස් ප්‍රදේශවලයි. මිනිස් ආශ්‍රයට බියයි. ඌට බාධා කළොත් නපුරු හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි.
යෙටී ගැන සාක්ෂි
යෙටී සම්බන්ධයෙන් තියෙන ප්‍රභලම සාක්ෂිය තමයි, හිමෙහි හෝ මඩෙහි හෝ සටහන් වූ උගේ පා සලකුණු.
ඒ වගේමයි රාත්‍රී කාලයේදී ඇසෙන ඇඟ හිරිවැටෙන උගේ මහා නාදය.
යෙටීගේ කෑ ගැසීම් හිම කුණාටු පවතිද්දී පවා ඈත දුරකට ඇසෙනවා කියලයි ටිබෙට් රට ආශ්‍රිත ෂීක්වරුන් කියන්නේ.
ඒත් මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම නම් ඒ ඇහෙන්නේ යෙටීගේ හඬ නෙවෙයි, ගල්කුළු අතරින් සුළං රැළි වේගයෙන් හමා යද්දී ඇතිවන හඬ යන්නයි.
එහි වැසියන් කියන්නේ යැක් ගවයින් සහ බැටළුවන්ව ආහාරයට ගන්න යෙටී ප්‍රිය කරනවා කියලයි.
සමහර අවස්ථාවලදී යැක් ගවයින්ගේ හා බැටළුවන්ගේ කීතු කීතු කළ සිරුරු මිටියාවත්වලින් හමුවී තියෙනවා.
ඒ යෙටීට ගොදුරු වූ අවස්ථාවලදීයි කියලයි ඔවුන් කියන්නේ.
එහෙත් තවත් මංශ භක්ෂක සත්වයින් මෙම ප්‍රදේශවල ඉන්නවා.
ඒත් හිමාල වලසුන් හා හිම දිවියන් මේ අයුරින් සතෙකුව කීතු කීතුවලට ඉරාදමා කෑමට ගන්නේ නෑ.
යෙටීගෙන් මිනිසුන්ට අනතුරක් වෙනවා කියලත් කියනවා.
එහෙම කියන්නේ සමහර අවස්ථාවලදී ගොපල්ලන් අතුරුදන් වෙන හින්දයි.
හොප්කින්ස්ගේ සහ ටේලර්ගේ නිගමනය
යෙටී සම්බන්ධයෙන් ලැබුණු බොහෝ අඩි සලකුණු හා වෙනත් සාක්ෂි ඉතා හොඳින් පරීක්ෂා කළ බැලූ ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ඩැනියෙල් ටේලර් 1980 දී නිගමනය කළේ, ඒවා අයත් වන්නේ එම වෙසෙන, කලින් හඳුනා ගැනීමට බැරි වූ, ප්‍රමාණයෙන් විශාල වලස් විශේෂයකට කියලයි.
මේ වනවිටත් හිමාල හිමාලවලසුන් යනුවෙන් හැඳින්වෙන වලස් විශේෂයක් ජීවත් වෙනවා.
සමහර විද්‍යාඥයන් කියන්නේ යෙටී යනු වසර 3,00,000කට පමණ පෙර මේ ප්‍රදේශයේ විසූ ආදී මානවයකුගේ විය හැකි බවයි. ඒ ජයිජෑන්ටෝපිතිකස් නම් මානවයාගෙන් පැවත එන තවමත් නිසි ලෙස හඳුනා ගෙන නැති උප විශේෂයක් බවයි.
වසර 2000 දී හෙළි වූ නිගමනයන්
වසර 2000 දී කඳු නැගීමේ ශූරයෙක් හා දේශ ගවේෂකයෙක් ලෙස ප්‍රකට රීනෝඞ් මෙස්නර් නම් ප්‍රංශ ජාතිකයා යෙටී සම්බන්ධයෙන් වසරක් පුරා කළ ගවේෂණයකින් පසු කියන්නේ යෙටී කියන්නේ ලොකු වලසෙක් හෝ වඳුරෙක් විය හැකි බවයි.
මේ පිළිබඳව කොතෙක් මත පළ වුනත් හිමාලය අශ්‍රිතව ජීවත්වන්නන් ඉන්නේ තවමත් එක ම මතයකයි.
ඒ යෙටී නමින් අද්භූත සත්වයකු හිමාල අඩවියේ ඉන්නා බවයි.
1961 දී හිමාල අඩවියේ ගම්මානයකට ආ එක් ප්‍රංශ විශාරදයෙකු හා නේපාල ගැමියකු අතර වූ කතාබහකින් පවා ඒ බව කියැවෙනවා.
ඒ ප්‍රංශ විශාරදයා කියා ඇත්තේ ඔහු විශ්වාස කරන හැටියට යෙටී කියන්නේ ලොකු බොරුවක් බවයි.
ඊට පිළිතුරු වශයෙන් කුන්ජෝ චුම්බි නම් ඒ ගැමියා කියා ඇත්තේ, ‘‘නේපාලයේ අපි ජිරාෆ්ලාවත් කැන්ගරූලාවත් දැකලා නෑ. ඒ නිසා අපි ඒ සතුන් ගැන දන්නේ නෑ. ඒ වගේ ප්‍රංශයේ යෙටීලාත් නැහැ. ඒ නිසා ඔබේ නොදන්නාකම ගැන මම අනුකම්පා කරනවා’’ යනුවෙනුයි.
කොහොම වුණත් යෙටී කියන්නේ අබිරහසක්... තවම හරියට පිළිතුරක් නොලැබුණු...
අන්තර්ජාලයෙන් උපුටාගත්තකි