සම්බාහන ශාලා, තවත් විදිහකට කීවොත් ‘මසාජ් ක්ලිනික්’ ගැන දිනෙන් දින වාර්තා වන තොරතුරුවලින් දිනපතාම වගේ පුවත් මැවෙනවා.
එහි මෑතකදී වාර්තා වුණ පුවත වූයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය වයස පහළොවක ළමයකු එහි සිටි වැඩිහිටි කතුන් දෙදෙනෙකු විසින් බරපතළ ලෙස අපයෝජනය කරනු ලැබූ බවට පළවූ ප්‍රවෘත්තියක්.
මේ සිද්ධිය වාර්තා වී තිබුණේ කුරුණැගල ප්‍රදේශයෙනි. විමර්ශන සිදු කළේ කුරුණෑගල පොලිසියයි.
වාර්තා වුණු අන්දමට මේ ළමයා නිවෙසේ තිබුණු රුපියල් පනස්දහසක් ද රැගෙන කුරුණෑගල නගරයේ පිහිටි ස්පා එකකට ගොස් තිබූ අතර ඔහුට සේවය සැපයීම සඳහා කතුන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබේ.
මේ ළමයා ඒ දෙදෙනාට රුපියල් එක්දහස් පන්සියයක් දී ඇති බව ද කියැවේ. ළමයාට ‘සේවය’ ලබා දුන් කතුන් ඉන් අනතුරුව ළමයා බරපතළ ලෙස අපයෝජනය කර ඇත්තේ අනතුරුවය. ගෙදර ආ ළමයා මේ ගැන අම්මාට, තාත්තාට කියා තිබිණි. පැමිණිල්ල පොලිසියට එන්නේ ඉන් අනතුරුවය. කුරුණෑගල ප්‍රදේශයේ නීති විරෝධී ස්පා 60කට වඩා ඇති බවද පොලිසිය කළ විමර්ශනයකදී හෙළි වී තිබිණි.
ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන, කට වහරේ ඇති පරිදි ‘මසාජ් ක්ලිනික්’ රට පුරා බිහිවී ඇත්තේ හතු පිපෙන්නාක් මෙනි. බොහෝ ඒවා නියමිත සුදුසුකම් සපුරා නැත. ‘ආයුර්වේද සම්බාහන ශාලා‘ යන පාඨය සමහර තැන්වල නමට පමණක්යැයි යන්න කියන්නේ අප නොවේ පොලිසියයි.
මෙවැනි ඇතැම් ස්ථානවල ගණිකා ජාවාරම ජයටම සිදුවන බව කාටත් නොරහසකි. පාතාලය, මත්කුඩු, සහ වෙනත් ජාවාරම් ද මෙවැනි ඇතැම් නීතිවිරෝධි ස්පා මූලික කරගෙන ක්‍රියාත්මක වන බව කවුරුත් දන්නා කාරණයකි.
මෙවැනි ඇතැම් තැන්වල සිදුවන සිදුවීම් ද පොලිසියට කරදරයකි. ඒ මහජන සාමය කඩවීමේ සිදුවීම් නිසාය. තලංගම ස්පා එකකට ගිය පුද්ගලයකු පහරදී ඝාතනය කෙරෙන්නේ පසුගියදාය.
නුවර පාරේ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ස්පාහලකට කඩාවැදී එහි සිටි තරුණ කතුන් දෙදෙනෙකු පැහැරගෙන ගිය සන්නද්ධ කල්ලියක් එම දෙදෙනා නිවසක රඳවාගෙන අතවර කළැයි කියන සිද්ධියක් ද ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා විය.
ස්පා ශාලාවලට එන ගනුදෙනුකරුවන්ගේ මිල මුදල් සොරා ගැනීම්, ඒවායේ සිදුවන ගැටුම් ගැන ද පොලිසියට නිරතුරු පැමිණිලි ලැබේ. මේ සියලු කරුණු කාරණාවලින් කියවෙන්නේ මෙවැනි ස්ථානවල ඇති අන්ත දූෂිත වංචා සිදුවෙන බොහෝ තැන් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වන ගණිකා මධ්‍යස්ථාන බවය. තෙරපිවරියක් වැලිවේරියේ නිවෙසකදී කතක් ඝාතනය කළැයි කියන සිද්ධියක් ද පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළේය.
කොළඹට පමණක් සීමාවී තිබූ මේ ආයුර්වේද සම්බාහන ශාලා කොළඹින් පිටතත් හතු පිපෙන්නාක් සේ බිහි වන්නේ ඒවායේ නිසි ප්‍රමිතිය සහ නීත්‍යනුකූලභාවය පිළිබඳ වැඩිදුර කිසිවකුගේ අවධානය යොමු නොවන නිසාය.