මේ කියන්න හදන්නේ ඉතාමත් කපටි විදිහට කරපු හොරකමක් ගැන ...
වගා හානිවලට වන්දි ලබා දෙන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කාන්තාවක් රවටා රුපියල් 50,000 ක මුදලක් වංචා කරගෙන පලාගොස් තිබෙන බව පොලිසිය පවසනවා.
එම නිවසේ අදාල කාන්තාව පමණක් ජීවත් වන අතර ඇයට කුඹුරු අක්කර 12ක අයිතියක් පවතින බවයි පැවසෙන්නේ.
පසුගිය සමයේ වර්ෂාවට හසු වී කුඹුරු විනාශවීම ගැන පශ්චාත්තාපයෙන් සිටින විට හදිසියේම නිවසට පැමිණි දෙදෙනා ලිපි ගොණුවක් විවෘත කොට ඇගෙන් නම අසා වගා හානි සඳහා ඇයට රුපියල් 250,000ක මුදලක් රජයෙන් වෙන් කොට ඇති බව පවසා තිබෙනවා.
එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 50.000 ක මුදලක් වාරිමාර්ග නඩත්තු කටයුතුවලට ගෙවිය යුතු බව පවසා කාන්තාවගෙන් එම මුදල ලබා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
වැඩිදුරටත් කාන්තාවගෙන් විස්තර සටහන් කරගත් යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා මුදල්ද රැගෙන නිවසින් පිටව ගොස් ඇත්තේ පසුදා උදෑසන වන විට අදාල රුපියල් 250,000ක
මුදල ඇගේ බැංකු ගිණුමට බැර කරන බව ප්‍රකාශ කරමින් බවයි පැවසෙන්නේ.
නමුත් දින පහක් ගත වී ඇතත් මුදල් නොලැබුණු නිසයි ඇය මේ සම්බන්ධයෙන් වඩුක්කෝඩෙයි පොලීසියට පැමිණිලි කොට ඇත්තේ.
එහිදී අනාවරණය වී ඇත්තේ යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා එදින යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ නිවාස හතරකින් මේ ආකාරයටම පවසා මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවයි.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.