ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමග අතුරුදන් වී ඇති බවට පැවසෙන පොලිස් කොස්තාපල්වරයා ඩුබායි වෙත පලාගොස් ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු සතුව තිබූ ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
මෙම ගිනි අවිය තෙවන පාර්ශවයක් වෙත ලබාදී ඇත්ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයෙන් ටී - 56 ගිනිඅවිය සහ උණ්ඩ රැගෙන පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී මාර්ග බාධක රාජකාරී සඳහායි.
කෙසේවෙතත්, ඔහු රාජකාරිය පැවරී තිබූ ස්ථානයට වාර්තා කර නොතිබූ හෙයින් ඒ පිලිබදව සොයා බලා තිබෙනවා.
පසුව ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දී ඇති අතර, ඔහු ඊට ද ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.
අනතුරුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකාර නිලධාරීවරයා ඊයේ රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි බලා පිටව ගොස් ඇති බවටයි.
මෙලෙස පළාගොස් ඇත්තේ අනුරාධපුර - හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි කවිදු ප්‍රකාශ් ජයකොඩි නැමැති 25 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.
සැකකාර පොලිස් නිළධාරීවරයා ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයට ගොස් ත්‍රිිරෝද රථයකින් පළා ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සදහන් කළේ මෙම පොලිස් නිළධාරීයා ඩුබායි වෙත පළායාමට පෙර ඔහු සතුව තිබූ ගිනි අවිය පාතාල කල්ලි සාමාජිකයෙකුට ලබාදී ඇත්ද යන්න පිළිබදව සැක පල වන බවයි.
කෙසේ වෙතත්, මේ වන විට ඔහුගේ ඥාතීන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
එමෙන්ම, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූවෙකු බවටද අනාවරණය වී තිබෙනවා.