නව පාසැල් වාරය සඳහා දරුවන්ට පැන්සල් සහ පාට පැන්සල් මිල දී ගැනීමේදී එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානී, වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පැන්සල් සහ පාට පැන්සල් වර්ණ ගැන්වීමට විශාල ලෙස විවිධ රසායනික හා බැර ලෝහ යොදා ගන්නා බවයි.
නව පාසැල් වාරය ආරම්භයත් සමග මේ දිනවල මව්පියන් තම දරුවන්ට පාසැල්උපකරණ මිල දී ගන්නා අතර, එහිදී පැන්සල් සහ පාට පැන්සල්වලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා.
දරුවන් ද ඊට වැඩි ඇල්මක් දක්වන්නේ පැන්සල්වල ඇති වර්ණ ගැන්වීම් සහ ආකර්ශනීය බව හේතුවෙන්.
එම වර්ණ සහ ආකර්ශනීය බව ලබා ගැනීම සඳහා රසදිය, ආසනික්, බැර ලෝහ ඇතුළු තවත් රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා අතර, ඒවා විවිධ මිල ගණන් යටතේ ද අලෙවි වනවා.
විද්වතුන් පෙන්වා දෙන්නේ, එම පැන්සල් සහ පාට පැන්සල් භාවිතයේදී බොහෝ දරුවන් ඒවා මුඛයේ දමා ගැනීමට සැපීමට පුරුදුව සිටින අතර එතුළින් අහිතකර රසායනික රැසක් දරුවන්ගේ මුඛය හරහා ශරීරගත වන බවයි.