වී ගෝනි සහ කුරුඳු දර තොගය ලේලියගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අසල ඇඳක් තබා නිදාගත් යුවළක කාන්තාවට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.
ගුරු වෘත්තියේ නියැළීමෙන් අනතුරුව විශ්‍රාම දිවියක් ගත කරන යුවළක් වන ඔවුන් දෙදෙනා සුවිසාල තෙමහල් නිවසක හුදකලාව ජීවත්වෙති.
පුතුන් දෙදෙනකු පමණක් සිටින මෙම යුවළ විශාල දේපළකටද හිමිකම් කියති.
වැඩිමහල් පුතා සෙල්ලක්කාර ජීවිතයක් ගතකරමින් දරුමල්ලන් සමග අගනුවර ප්‍රදේශයේ ජීවත්වන අතර අනෙකා මවුපියන් පදිංචි නිවසට යාබදව කුඩා නිවසක් තනාගෙන ජීවත්වෙති.
විධායක ශ්‍රේණියේ රැකියාවක නියැළෙන එම පුතා හිතුවක්කාර විවාහයක් කරගෙන ඇති බැවින් නැන්දම්මා සහ ලේලිය නිතර නිතර කෙස්වලු පටලවා ගැනීම සිදුවිය.
කුඹුරුවලින් ලබාගන්නා වී අස්වනු ගෝනිවල දමා කුස්සි කාමරයේ ගොඩගසා ඇති අතර කුරුඳු තැලීමෙන් ලැබෙන කුරුඳු කෝටුද එම කාමරයේම කොටසක පිළිවෙළට තබා ඇත.
දෙමහල්ලන් දෙදෙනා නිවසේ නොමැති අවස්ථාවල ලේලිය පැමිණ මිදුලේ තිබූ කුරුඳු දර රැගෙන යන අතර එය නැන්දම්මාට නොරුස්සන කාර්යයක් විය.
එම නිසා දර ටිකද කාමරයේම තැබීමට දෙදෙනා කටයුතු කළහ.
ගෝනිවල ඇති වී මීයන් විසින් විනාශ කිරීම වියපත් යුවළට කරදරයක් වූ නිසා සැමියා මී කතුරක් රැගෙනවිත් වී ගෝනි අසල තැබීම දිනපතාම සිදුකළේය.
සැමියා සිය බිරිඳ පමණක් නිවසේ සිටියදී යහළුවන් කිහිපදෙනකු සමග දුර ගමනක් ගොස් ඇති අතර මී කතුරද අටවා වී ගෝනි ටික අසලින් තබා යෑමට ඔහු අමතක නොකළේය.
බිරිඳ තනිවම වී ගෝනි අසල තබා ඇති ඇඳේ නින්දේ සිටින විට ඇසුණු ශබ්දයක් නිසා හදිසියේම අවදි වී කළුවරේම වී ගෝනි ටික අතගා බැලුවාය.
එක්වරම දකුණු අතේ ඇඟිලි ටික මී කතුරට අසුවීම නිසා බියට පත් ඇය සර්පයකු කෑවා යැයි විලාප තැබුවාය.
අසල්වාසීන් කිහිපදෙනකු සහ යාබද නිවසේ සිටින පුතා පැමිණ දොර කඩා නිවසට ඇතුළු වී මව සොයමින් නිවස පුරා සෝදිසි කළහ.
විදුලිය කප්පාදුකර ඇති අවස්ථාවක් නිසා විදුලි පන්දම් ආලෝකයෙන් මව සොයා ගැනීමට හැකිවූයේ කුස්සි කාමරයේ ඇඳ ළඟ වැටි සිටියදීය.
වී සහ කුරුඳු දර ඇති ස්ථානයේ ඇති ඇඳේ නිදාසිටියදී මී කතුරට අත හසුවී ඇති බව පිරිසට අවබෝධ කරගැනීමට වැඩි කාලයක් ගත නොවීය.
රාත්‍රී කාලයේම මව රෝහල් ගත කළ අතර ලේලිය සිද්ධිය තවත් රසකරමින් අසල්වාසීන් සමග පැවසීම නිසා එය ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය.
රෝහලින් පිටව පැමිණි නැන්දණිය සිය සහෝදරියකගේ නිවසේ සති කිහිපයක් ගතකර නිවසට පැමිණි අතර සර්පයා ගැන විමසා නිවසේ දුරකතනයට ඇමතුම් ගලා ඒම නිසා දුරකතනය ගලවා ඉවත්කර ඇති බවද පැවසේ.
දෙනගම යසන්ත ආරියසේන