ඒ, ලොවක් කම්පා කළ ලොස් ඇන්ජලීස් ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව දැඩි කතාබහක් ඇතිව පවතින පසුබිමකයි.
විදෙස් වාර්තා මීට ඉහත පෙන්වා දුන්නේ, බොහෝමයක් ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බවයි.
බොහෝ දෙනෙකුට නිවාස අහිමි කළ, ජීවිත අහිමි කළ විනාශකාරී ලැව්ගිනි හමුවේ හොලිවුඩ් තරු රැසකට ද තම නිවෙස්වලින් පලා යාමට සිදුව තිබුණා.
ලැව්ගිනි හටගැනුනේ, සම්මාන උළෙල පැවැත්වීමට නියමිත ආසන්නත කාලයකදී ....
ඒ අනුව 97 වන ඇකඩමි සම්මාන උළෙල මාර්තු 2 වන දින පැවැත්වීමටයි දැනට කටයුතු සංවිධානව ඇත්තේ.
සංවිධායකයින් පවසන්නේ, මෙවර සම්මාන උළෙල පෙර සේ ම ‘ලොස් ඇන්ජලීස් සහ සිය කර්මාන්තය නිර්වචනය කරන ශක්තිය, නිර්මාණශීලිත්වය සහ ශුභවාදී බව ඉස්මතු කරන අතරම මෑත කාලීන සිදුවීම් ද පිළිබිඹු කරනු ඇති’ බවයි.
එහි නාම යෝජනා නිවේදනයට නියමිතව තිබුණේ ජනවාරි 17 වැනිදායි. නමුත්, සංවිධායකයින් විසින් එය ඊයේ (ජනවාරි 23) දිනය දක්වා කල් දමා තිබුණා.
ඒ අනුව ප්‍රකාශිත නාමයෝජනා 13 ක් සමඟින් පෙරමුණ ගෙන ඇත්තේ, ‘එමිලියා පෙරෙස්’ (Emilia Pérez) වන අතර නාමයෝජනා 10 බැගින් ලබා ඇති “The Brutalist” සහ “Wicked” දෙවන තැන පසුවෙනවා...
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ “එමිලියා පෙරෙස්” සංගීතමය චිත්‍රපටය යම් යම් මතභේද තිබියදීත් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවයි.
ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය වෙනස් කිරීමට තීරණය කරන මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරමක නායිකාව තේමා කරගත් එමිලියා පෙරෙස්, නැරඹූ පිරිස් අතර ද මතභේද ඇති කරැති, මෙක්සිකෝවේ ද මතභේදයට තුඩුදුන් නිර්මාණයක් ...
එමෙන්ම එය බොහෝ නාම යෝජනා ලද ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටය ද වෙනවා.... ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් කරන ලද ප්‍රංශ නිෂ්පාදනයක් වන ඊට මෙක්සිකෝව පසුබිම් වී තිබෙනවා...
තවත් විශේෂත්වයක් වන්නේ ‘එමිලියා පෙරෙස්’ තාරකාව වන ‘කාර්ලා සොෆියා ගැස්කොන්’, 2025 ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා නාමයෝජනා ලබා ගනිමින් ඉතිහාසයට එක් වීමයි.
ඒ, මෙවන් ගෞරවයක් ලද පළමු සංක්‍රාන්ති ලිංගික රංගන ශිල්පිනිය බවට පත්වෙමිනුයි.