ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය. හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කෙරුණු බවයි.
මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවද මහින්ද රාජපක්ෂ සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින අයෙකු වන අතර තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ.
අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අමතරව තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අයැද සිටියා.
එමෙන්ම මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.