ඇය ජැන්ඩියට හැද පැලඳගත්ත නෝනා කෙනෙක්.. ඇගේ සුවඳින් රන් ආභරණ ශාලාවේ ඉන්න බොහෝ දෙනෙක් ඇය වසඟයට ගත්තා..
සෙනඟ රැස් කකා පොර කකා රන් ආභරණ තෝරද්දී සේවකයන්ට ද ඉස්පාසුවක් ද නැතුව වැඩ.. මේ කතාව ටිකක් වෙනස්.. ඒක ඇසෙන්නේ ගාල්ල පැත්තෙන්.. රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ ඇය මොන තරම් නම් සූක්ෂමද..?
මේ නෝනා අමාරුවෙන් ලබා ගත්ත පුටුවෙන් වාඩිවුණා... ඇය ඇවිත් තිබුණේ, ඕස්ට්‍රේලියාවේ ඉඳලා කසාදය සඳහා ලංකාවට එන පුතුගේ විවාහ උත්සවයට දැමීමට රන් මුදුවක් මිලදී ගැනීමටයි... ඇගේ කතාව ළඳ බොලඳයි.. සිත්ගන්නාසුළුයි... රූපය මනරම්...
මේ නෝනා ආ සැනින්ම රන් ආභරණ අලෙවි සලේ සේවකයන්ගේ විශ්වාසය ද දිනා ගත්තා.. එමෙන්ම ඔවුන්ගේ සිත ද පැහැර ගැනීමට මේ නෝනාට ගියේ මිනිත්තු ගණනක් විතරයි... ඒ ඇයගේ කතා විලාසයත් කළ උසුළු විසුළුත් නිසායි... මේ නිසාම සේවකයන් ඇය ගැන ඇස යොමු නොකළ තරම්..
රන් ආභරණ සාප්පුවේ තියෙන රන් මුදු පෙට්ටි සියල්ලම ඇය ඉදිරිපිටයි.. එකක් ගලවනවා තවත් එකක් දාගන්නවා මෙය දිගටම ඇය සිදු කළා.. අවසානයේදී ඇයට සරිලන මුදුවක් මේ සාප්පුවේම නොතිබුණා.. ඇය එම අලෙවි සලෙන් පිටව ගියේ අන්න ඒ නිසයි..
එදාම හවස් වරුවේ මේ රන් ආභරණ අලෙවිසල වසන්න ඔන්න මෙන්න තිබියදී එළියට ගත් රන් ආභරණ පෙට්ටි පරීක්ෂාවට ලක්වුණේ සුපුරුදු ලෙසයි.. එහිදී මුදු දමා තිබූ එක පෙට්ටියක තමාගේ ආයතනයේ නොවන මුදුවක් තිබෙනු සේවකයෝ දුටුවා..
එහෙත් එම මුදුවේ සිය වෙළෙඳ සලෙන් කුඩාවට මුද්‍රණය කරන ස්ටිකරය ද එහි අලවා නැහැ. එම මුදුව තවදුරටත් පරීක්ෂා කිරීමේදී එය ඉමිටේෂන් මුදුවක් බවට ද අනාවරණය වන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ..
මෙය වඩාත්ම තහවුරු කර ගැනීමට එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී එදා උදේ ආ නෝනා මුදු තේරීමට තමාගේ ඇගිල්ලේ තිබී ගලවා මේසය මත දිලිසි දිලිසි තිබූ අලුත් ඉමිටේෂන් මුද්දට රන් ආභරණ අලෙවි සලෙන් රන් මුදුවකට ගසා තිබූ ස්ටිකරය ඉතා සීරුමාරුවට ගලවා එය තමාගේ ඉමිටේෂන් මුදුවේ අලවා එම මුදුව මුදු පෙට්ටියට දමා නියම රන් මුද්ද ඇයගේ ඇඟිල්ලේ දමාගෙන යන දර්ශනයලු..
අවසානයේ මෙම කාන්තාව සොයා ගැනීමට රන් ආභරණ සාප්පුවේ පිරිසට පොලිසියේ පිහිට පතන්න වෙලා..