මේ ගැන ඊයේ බොහෝ දෙනෙක් කතාබහ වුණා.. රටේ නීතිය ආරක්ෂා කරන්න ඉන්න පොලිස් නිලධාරීන් මෙහෙම හැසිරෙන එක ඇත්තෙන්ම සමාජයට වැරදි පූර්වාදර්ශයක්..
පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරී නිළ ඇදුමින් සැරසී පොලිස් සේවයට නොගැලපෙන අන්දමට හැසිරීමේ සිද්ධියට සම්බන්ධ පානදුර උතුර පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඊට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.
එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ අදාළ පොලිස් නිළධාරීන් යම් ස්ථානයක නිදා සිටින ආකාරයයි.
දැනට අනාවරණය වී ඇති පරිදි පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවට හෙළි වී තිබෙනවා.
මේ පිළිබදව වැඩබලන පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ.
එසේම, ඔවුන් බීමතින් සිටියේද යන්න පිළිබදවද විමර්ශණ ආරම්භ කර ඇති අතර, විමර්ශනයෙන් අනතුරුව මේ සදහා වගකිවයුතු සියලු නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
මේ අතර, තමා යටතේම සේවය කල පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින්, එය වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කල අපේක්‍ෂිත ඇප ආයදුම්පතක් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් ඩී. එස්. එම්. කරුණාරත්න ඉදිරියේ ඊයේ එය සලකා බැලුණු අවස්ථාවේදීයි.
ඒ අනුව පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාට විනිසුරුවරයා නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
පැමිණිලිකාර පොලිස් කොස්තාපල්වරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ඇගේ නීතිඥයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාවට ස්ථානාධිපතිවරයාගෙන් සිදුව ඇති ලිංගික හිංසන හා තාඩන පීඩන සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට, ජාතික පොලිස් කොමිසමට, මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවයි.
එහෙත් පැමිණිලි සිදු කර මාස තුනකට අධික කාලයක් ගත වුවද තම සේවාදායිකාවට, යුක්තිය ඉටුවන බව මෙතෙක් පෙනෙන්නට නොමැති බවද නීතිඥයා පවසා තිබෙනවා.
ස්ථානාධිපතිවරයාගේ හිංසන හේතුවෙන් ඇතිවූ මානසික පීඩනය නිසා නාරාහේන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පවා තමාට සිදුවූ බව සිය පැමිණිල්ල මගින් අදාළ පොලිස් කොස්තාපල්වරිය, ප්‍රකාශ කර ඇති බව සදහන්.
කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් සඳහන් කර ඇත්තේ මෙම සැකකරු පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බවට ලැබී ඇති පැමිණිල්ලට අදාලව සිදු කරන විමර්ශන මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.