මේ කියන්න යන්නේ බස් රථයකින් ඇසෙන තවත් වෙනස් විදිහක කතාවක්..
මේ යුවල ඇත්තටම හැමදාමත් පුරුද්දට වගේ රණ්ඩු වෙනවාද කියලා තමයි මේ සිද්ධිය දුටු හැම කෙනෙක්ම කතා වුණේ.. මොකද්ද මේ දෙන්නා මහ පාරේ දාගත්ත ඒ රණ්ඩුව.. මෙන්න ඒ ගැන ඇසෙන කතාව..
කණ්ණාඩි කුට්ටමක හුටපටයක් හේතුවෙන් බස් රථයක් තුළ ගුටිකෙළගත් අඹුසැමි යුවළක් පිළිබඳ සිද්ධියක් කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය වන මගී බස් රථයකින් අසන්නට ලැබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ඇසුණු කතාවයි..
රාත්‍රී කාලයේ කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය කරන මගී බස් රථයකට ගොඩවැදුණු තලත්තෑනි අඹුසැමි යුවළක් බස් රථයේ මැද ආසනයක හරි බරි ගැහී ඉඳගෙන සිටියා..
ඔවුහු දෙදෙනාම උපැස් යුවලවල් පැලැඳ සිටියා... පැය තුන හතරක ගමනකින් හෙම්බත්ව සිටි මගීහු බොහෝ දෙනෙක් නින්දට වැටී සිටියා... මේ තලත්තෑනි අඹු සැමි යුවළද නිදි සුව විඳින්නට වුණා..
නින්දෙන් අවදි වූ බිරිඳ කලබලයට පත් වී සීට් එකට හේතු වී නිදා සිටි තම සැමියා අවදි කළා.. “අනේ බලන්නකෝ මගේ කණ්ණාඩිය නෑනේ, බිමට වැටිල ද දන්නෙ නැහැ.” යැයි කලබලයෙන් පැවසුවා.. සැමියා ද අසුනෙන් නැගිට, බඩු බාහිරාදිය එහා මෙහා කරමින් බිරිඳගේ කණ්ණාඩිය සොයා විපරම් කරන්නට වුණා.. ඔහු සීට් එක යටට ද හෙබිකම් කළා.. එහෙත් කණ්ණාඩිය හමු වුණේ නැහැ.. මේ අල්ල පනල්ලේ බිරිඳ සැමියාට හොඳටෝම දෙහි කපන්නට වුණා.. “කොහෙද මේ මිනිහගේ කලබලේනේ. බස් එකට නැග්ගේ දුවගෙන ඇවිල්ල නේ. ඒ එද්දි මග වැටෙන්න ඇති. මේ හැම දේකටම මුල ඔහේගේ කලබලේ තමයි”. කියමින් දෝෂාරෝපණය කළා..
සැමියාද නිකන් හිටියේ නැහැ... “මේ මට කියලා තමුසෙගේ කට තළාගන්න ලෑස්ති වෙන්න එපා. කොයි දේටත් වැරදිකාරයා මමයි. ඇයි හත්වලාමේ තමුසෙගේ එක පරිස්සම් කරගන්න තමුසෙ දැනගන්න එපායැ.”
“මේ මනුස්සයෝ, ගෑනිට කරදරයක් උනාම ඔහොමද කතා කරන්නේ? මට කොහොම හරි මගේ කණ්ණාඩි කුට්ටම හොයලා දෙනවා” යැයි කියමින් ඔහුගේ උරහිසින් අල්ලා සොලවන්නට වුණා... සැමියා ද ඇයගේ බෙල්ලෙන් අල්ලා පොර බැදුවා..
මේ සියල්ල සිද්ධ වන්නේ බස් රථයේ මඳ විදුලි ආලෝකයෙන්.. මක්නිසාද යත් බස් රථයේ ඇතුළත ඉතාම මන්දගාමී විදුලි ආලෝකයක් තිබූ බැවිණි..
සැමියා සහ බිරිඳ එක එකාට බැන ගනිමින්, චෝදනා කරමින් මහා හයියෙන් ගෝරනාඩු කරන්නට වුණා..
බස් රථයේ සීට්වල සුව නින්දේ පසු වූ මගීහු මේ මහා ශබ්දය ඇසී එකා දෙන්නා ඇස් ඇර බලා” මේ මොන මල ඉලව් කරදරයක් දැයි” අසමින් ඒ ගැන විමසන්නට වුණා..
කොන්දොස්තර තැනද එතැනට කිට්ටු විය. මේ සියල්ල අසා බස් රථය ධාවනය කරමින් සිටි රියැදුරු මහතා බස් රථය තුළ විදුලි ආලෝකය දැල්වූ අතර එවිටම එතැනට පැමිණ සිටි කොන්දොස්තර ඔවුන් දෙදෙනා අමතා මෙසේ පැවසුවා..
“මේ ඕයි තමුසෙලා දෙන්නා කට පියාගන්නවලා. මේ නෝනා, කට තිබ්බ පලියට බෙරිහන් දෙන්න එපා. ඔහේගේ නැති වුණු කණ්ණාඩි කුට්ටමක් නැහැ. හොඳට අතගාලා බලනවා. ඔය තියෙන්නේ නළලේ දාගෙන මොකක්ද කියලා. නිකං බොරුවට මිනිස්සුන්ට වද දෙන්න එපා” යැයි පැවසුවේ මෙතෙක් වේලා අන්තරස් දාන වූවා යැයි පැවසූ කණ්ණාඩි කුට්ටම බිරිඳගේ නළලේ රඳවාගෙන තිබෙන අයුරු පෙන්වා දෙමින්..
එකෙනෙහිම, බිරිඳ තම නළල අත ගෑවාය. කණ්ණාඩි කුට්ටම ඇයගේ අතට හසුවිය. අඹුසැමි යුවළගේ කටවල් දෙකට ඉබි යතුරු වැටුණා.. ඔවුහු දෙදෙනාම අසුනේ වාඩි වී ලැජ්ජාව වසා ගැනීමට යළි බොරු නින්දකට වැටුණාහ. එහෙත් බස් රථයේ මගීන්ගේ කටවල් සියල්ල ඇරී මෙවැනි පුංචි දේවල් වලටත් ඉවක් බවක් නැතුව රණ්ඩු සරුවල්වීම පිළිබඳව මේ අඹුසැමි යුවළට හොඳ හැටි දොස් නැගුවා..
පැය හත අටක ගමනකින් අනතුරුව ඔවුහු තම ගම් ප්‍රදේශයට සේන්දු වී තම ගමට යන හන්දියෙන් බස් රථයෙන් බැස්සා.. එම බස් රථයෙන් ඔවුන්ගේ ගමට අල්ලපු ගමේ හාදයෙක්ද බිමට බැස්සා..
“මේ නැන්දටයි මාමටයි හරි අබැද්දියක් නේද අද වුණේ." කියමින් ඔහු නොපෙනී ගියත්, පහුවදා සිට ගම් පළාතේම කණ්ණාඩි කුට්ටමේ හුටපටය ගැන ප්‍රචාරය වී තිබුණා..