නිල සංචාරයක් සඳහා ඊයේ දහවල් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.
මේ සමග ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල්ද ජනපතිවරයා හමුවුණා.
එහිදී දෙරට අතර වැදගත් කරුණු සාකච්ඡා කෙරුණු බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධය ඒකකය පැවසුවේ.
මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය ඒකඟතාවය පළ කරන බව මෙහිදී ආචාර්ය එස්.ජයිශංකර් පැවසුවා.
ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ඇතුලු පිරිසක් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වුණා.
ඉන්දීය ජනපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර, මෙය ජනපති අනුර කුමාර දිසානායකගේ මංගල විදෙස් සංචාරයයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී එකඟතා කිහිපයකට එළඹීමට නියමිත බවයි.