අලුත් පාර්ලිමේන්තුව පත්වූ දවසේ සිට මේ දක්වා ඒ ගැන විවිධ කතා අහන්න ලැබුණා.. ඒ අතරින් මේ කතාව තවත් සුවිශේෂී වූවක්..
ඔහු අපේ රටේ මහජනතාවගේ එක් නියෝජනයක්.. රටේ ප්‍රබල තනතුරක් දරන තවත් එක් පුද්ගලයෙක්.. කථානායකවරයාගේ ආචාර්‍ය පදවිය පාර්ලිමේන්තු නිල වෙබ් පිටුවෙන් ගැලවීමත් එක්ක මෙන්න මේ වගේ කතා අද අහන්න දකින්න ලැබෙනවා...
දේශපාලන බල අධිකාරිය නියෝජනය කළත් ඔහු ප්‍රථමයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙක්.. ඒ නිසා මේ ගැන මීට වඩා සැලකිලිමත් වෙන එක වැදගත්.. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ විවිධ තනතුරුවලට ශ්‍රී ලාංකික පුරවැසියන් බඳවා ගැනීමේ දී සලකා බලනු ලබන අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීම සාමාන්‍ය දෙයක්.. සාමාන්‍යයෙන් නිලතලවලට අදාළව පවත්වන තරඟ විභාගයකින් පසු හෝ සම්මුඛ පරීක්ෂණයකින් පසු අදාළ සුදුසුකම් පරීක්ෂා කර බඳවා ගැනීම් සිදුකරනවා.. හෙයකින් එසේ බඳවා ගනු ලබන පුරවැසියකු ඉදිරිපත් කර ඇති අධ්‍යාපන සහතික ව්‍යාජ ඒවා බව හඳුනා ගැනුණොත්..?ඊට පස්සේ මොකක් වේවිද..? බොහෝ විට ඔහුට හෝ ඇයට තනතුර අහිමි වී යා හැකියි...
සාමාන්‍යයෙන් අපේ රටවල අපරාධ වංචා දූෂණවලට සම්බන්ධ වුණ බවට එළිදරව් වුණු දේශපාලනඥයෝ, නායකයෝ බන්ධනාගාරගත වෙන හෝ හිරගත වෙන අවස්ථාවල ඒ අය මාර ගැම්මෙන් ආඩම්බරයකින් යනව අපි දැකල තියෙනවා..
මහා පරිමාණයේ මූල්‍ය වංචාවක් කරලා, ඝාතනයක් කරලා වුණත් සුදු ඇඳගෙන පපු පුම්බලා ඉස්සරහට දාගෙන මාධ්‍යවලට අත වනාගෙන, වොයිස් කට් දීගෙන, සත්‍ය කවදා හෝ ජය ගනී, ජයවේවා වගේ උදාර ටෝක්ස් දීලා මාරු වෙන්න පුළුවන් යුගයක් ලංකාවේ තිබුණා.. ඒත් පහුගිය ජනාධිපතිවරණයේදී අපි අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගත්තා ලැජ්ජ බය දැනෙන හෘද සාක්ෂිය වැඩ කරන, වගකීම වගේම වගවීම තියෙන අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරගන්න...
ලැජ්ජාව බය පවතින දේශපාලන සංස්කෘතික් රටකට ඕන ඇයි කියන එකට හොඳ ආදර්ශයක් පහුගිය දා දකුණු කොරියාවෙන් වාර්තා වුණා.. දකුණු කොරියාව එකපාර උඩු යටිකුරු කරපු ඒ සිදුවීම් මාලාව හටගත්තේ එරට රජය හදිසියේම හදිසි නීතිය ප්‍රකාශ කිරීමත් එක්ක.. රජයට මුහුණ දෙන්න වෙලා තිබුණු අභ්‍යන්‍තර දේශපාලන කැරැල්ලක් පාලනය කිරීමට දේශපාලන කුමන්ත්‍රණයක් ඔස්සේ හමුදා පාලනයක් ගේන්න ජනාධිපති යුන් සොක් යොල් කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සහය සාර්ථක වුණේ නැහැ..
විපක්ෂ දේශපාලන නායකයෝ එක මිටට එකතු වෙලා කරපු විරෝධයත් එක්ක දකුණු කොරියානු ජනාධිපතිවරයාට මුළු ජාතියෙන්ම සමාව ගැනීමට සිදු වුණා වගේම ඔහු පණ නැති නායකයකු බවට පත් කරන්න මිනිස්සු කටයුතු කළා.. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ඔහුට එරෙහිව එල්ල වූ අතර එය පරාජය කළ ද ඔහුගේ දේශපාලන අනාගතය මේ වන විට පවතින්නේ දැඩි අවිනිශ්චිතතාවකයි.. ඔහුගේ පාලක පක්ෂය දෝෂාභියෝගයෙන් ඔහුව බේරාගත්තෙත් ක්‍රමානුකූලව ඉවත්වීමකට ඔහුව පොරොන්දු කරවාගෙන..
අපේ රටේ දේශපාලන ඉතිහාසෙ කිසිම නායකයෙක් හෝ දේශපාලනඥයෙක් වෙච්ච වැරැද්දකට ජාතියෙන් සමාව ගන්නව අපි දැකලා නෑ. ඉවත් වෙනවා අපි දැකලා නෑ.. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න තමයි අපි අලුත්ම මුහුණු හෙව්වෙ. පරිණත නොවුණත් කමක් නෑ, උගත් බුද්ධිමත් මිනිස්සු ගෙනාවොත් මේ තියෙන කැත දේශපාලන සදාචාරය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා තමයි අපි අලුත් පාලකයෙක් හෙව්වේ..
හොඳම දේ යුන් සොක් යුල් තවමත් බලයේ ඉන්න අතරතුර මේ අභ්‍යන්තර කුමන්ත්‍රණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය. යුන් සොක් වගේම ඔහුට ඒ සඳහා සහයෝගය දුන් පාලක පක්ෂයේ සියලු දෙනාට එරෙහිව එරට නීති යාන්ත්‍රණය මේ වන විට ක්‍රියාත්මකයි. යුන් සොක් යොල් බලයේ සිටියදීම ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් මේ වන විට පනවා තියෙනවා..
ඒ වගේම ඔහු බලයේ සිටිය ද ඉවත්වන තුරු විදේශ කටයුතු ඇතුළු රාජ්‍ය කටයුතුවලට මැදිහත් වීමේ හැකියාවක් නැහැ..
මේ අභ්‍යන්තර කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ ජනාධිපතිගේ සමීප හිතවතෙක් වන එරට ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් (Kim Yong-hyun) විසින්.. ඔහු මේ වන විට අත් අඩංගුවට පත්ව සිටින බව ජ්‍යාත්‍යන්තර මාධ්‍යවල විශාල ප්‍රවෘත්තියක් බවට පත්ව තියෙනවා.. ඊට පෙර මුළු ජාතියෙන්ම සමාව අරගෙන ඉල්ලා අස් වීමටත් ඔහුට සිද්ධ වුණා.. මෙහි වගකීම කිසිදු නිලධාරියකු මත පැටවිය නොහැකි බවත් තමන් සියලු වගකීම භාර ගන්නා බව ඔහු කියා සිටියා..
අපේ රටේ උදාහරණ තියෙන්නෙම දේශපාලනඥයෝ නිලධාරීන් දංගෙඩියට යවපු අවස්ථා මිසක් දේශපාලනඥයෝ වගකීම භාරගත්ත අවස්ථා නෙවෙයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න තමයි අපි අලුත් නායකයෙක් පත් කරගත්තේ..
මේ අතර වාර්තා වුණු තවත් දෙයක් තියෙනවා.. ඒ තමයි දකුණු කොරියාවේ ආරක්ෂක ඇමති අත්අඩංගුවට ගැනීමට සුළු මොහොතකට පෙර සෝල් හි Dongbu රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා ගැනීමට තැත් කළා කියන එක.. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කිම් යොං වැසිකිළිය තුළ සියදිවි නසා ගැනීම සඳහා යට ඇඳුම භාවිත කළ බවයි..
ඒ තමයි ලැජ්ජාව බය සහිත දේශපාලන සංස්කෘතියක දේශපාලනඥයෙකුගේ ඉරණම.. රටේ ආරක්ෂක ඇමති හිතාමතා රටේ ආරක්ෂාව අනතුරේ දැමීම, ඒ ඇමතිට වහ කන්න හිතෙන ලැජ්ජාවක් වෙන්න ඕන..
උසස් දේශපාලන සංස්කෘතියක් සදාචාරයක් තියෙන රටක් නම්.. හිතාමතා බාල බෙහෙත් ගෙනැල්ලා මිනිස්සු මැරුණා කියලා ඔප්පු වුණා නම් සෞඛ්‍ය ඇමතිට ගෙළ වැළලාගන්න හිතෙන්න ඕන..
රටක ආර්ථිකය බංකොලොත් වුණානම් ආර්ථික ඇමතිට පිටුවහල් වෙන්න හිතෙන්න ඕන.. හතර වරිගයක් එක්ක එකතුවෙලා හොරා කලා රටක් වැට්ටුවනම් රටක නායකයෙක්ට වළක් හාරගෙන බහින්න ලැජ්ජ හිතෙන්න ඕන..
ඒ වගේම තමයි රටක හොරකම දූෂණය වංචාව නැති කරනවා උගත්තු ගෙනැල්ල රට හදනව කියලා පොරොන්දු වුණු ආණ්ඩුවකටත් ලැජ්ජාව බය වගේම වගවීම තියෙන්න ඕන...
මේ කතාව ඉවර කරන්න වෙන්නෙ මැක්කගෙන්.. එහෙම ආණ්ඩුවක් ලැජ්ජ වෙන්න ඕන තමන් පත් කරපු කථානායක බොරු ආචාර්ය පට්ටමක් පෙන්නලා තමන්වත් මේ රටේ මිනිස්සුන්වත් සුපිරියටම ඇන්දුවා කියලා ඔප්පුවුණොත්.. ජාතික ජන බලවේගය ලැජ්ජා බය තියෙන දේශපාලන සංස්කෘතියක් හදන්න නම් ආවෙ අනිවාර්යයෙන් ලැජ්ජ හිතිලා මේ රටෙන් සමාව ගන්න ඕන..
හෙට අනිද්දා හෝ එහෙම දෙයක් වුණොත් ලැජ්ජා නහර කපපු දේශපාලන සංස්කෘතියක් වෙනස් කරන පළමු කසපාර ඒක වෙයි කියල අපි හිතනවා. නැත්නම් බොහෝ දුරට මේ ආණ්ඩුවටත් යට ඇඳුමකින් ගෙළ හිරකරගන්න වෙන දවස හුඟක් ඈත නැහැ..
මුහුණුපොතෙන් උපුටාගත් සටහන් ඇසුරෙන්..