කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා.
එතුමා බලයට පත්වීමට සහ කථානායක ධුරය ලබා ගැනීම සඳහා මෙම ආචාර්ය ධුරය භාවිත කර ඇති බවත් ඔහු තවමත් මේ සඳහා නිසි පිළිතුරක් ලබා නොදීම ගැටලු සහගත බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
විශේෂයෙන්ම ඊයේ රජය වෙනුවෙන් කතා කළ මාධ්‍ය ප්‍රකාශකයින් එම ප්‍රශ්න සඳහා පිළිතුරු දීම මගහැරීමත්, පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් මෙම ආචාර්ය උපාධිය පිළිබඳ කාරණය ඉවත්වීමත් සමඟ එතැන විශාල ගැටළුවක් උද්ගතව ඇති බවයි අජිත් පී පෙරේරා පවසන්නේ.
එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරි දින දෙක තුළ කථානායක අශෝක සපුමල් රන්වලගේ සිය ආචාර්ය උපාධිය රටට පෙන්විය යුතු අතර ඊට අපොහොසත් වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ සහ NPB පක්ෂය යම් විනය තීරණයක් ගත යුතු බවයි.
එසේ නොමැති වුවහොත් විපක්ෂයට පියවරක් ඉදිරියට තැබීමට සිදුවන බවත් අනෙකුත් පක්ෂත් සමඟ සාකච්ඡා කර ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රී අජිත් පී පෙරේරා වැඩිදුරටත් පැවසුවා.
මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ගෞරවය පිළිබඳව විශාල ගැටලුවක් බවත් කතානායකවරයාට ඊට ප්‍රතිචාර දැක්වීමට සාදාරණ අවස්ථාවක් දියයුතු බවත් එතුමාට සාදාරණ පැහැදිලි කිරීමක් සිදු කළ නොහැකි නම් හා එතුමා ධුරයෙන් ඉල්ලා නොවුණහොත් එතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සිදු වන බවයි ඔහු සඳහන් කර සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා,
''ඒ වගේම එතුමා ඡන්දේ ඉල්ලද්දී පත්‍රිකාවල ගැහුවෙත්, පෝස්ටර්වල ගැහුවෙත්, කටවුට්වල ගැහුවෙත් ආචාර්ය කියලා. එතුමා පාර්ලිමේන්තුවට පත් වෙලා අග්‍රාමාත්‍යතුමිය එතුමාගේ නම කථානායක ධූරයට යෝජනා කරද්දිත් යෝජනා කරේ ආචාර්ය රන්වල කියලා. එමෙන්ම එතුමාට ආචාර්ය උපාධියක් නීත්‍යානූකුලව ඇතනම් එය ඔප්පු කිරීමට එතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා මම ප්‍රාර්තනා කරනවා. පක්ෂවල ඒ කියන්නේ සමගි ජන බලවේගයට අමතරව අනෙකුත් පක්ෂ සමඟත් අපි මේක සාකච්ඡා කරනවා. මේක අපේ පාර්ලිමේන්තුවේ ගෞරවය පිළිබඳ විශාල ප්‍රශ්නයක්.'' මේ අතර කතානායක අසෝක රන්වල ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අනාවරණ කළා. ඇය මේ බව ප්‍රකාශ කළේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලන කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අදාළ විශ්වවිද්‍යාලයෙන් අසෝක රන්වල මහතාගේ උපාධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීමේ ඒකකයෙන් ඔවුන් විස්තර ඉල්ලා සිටි බව ද හිටපු මන්ත්‍රීවරිය කියා සිටියා. ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ එවැනි තැනැත්තකුගේ නමක් සඳහන්ව නොමැති බවට ඔවුන් පිළිතුරු ලබා දුන් බවයි, එම මාධ්‍ය සාකච්ඡාවේදී තලතා අතුකෝරළ මහත්මිය අනාවරණ කළේ.VIDEO