අපේ රටේ දරුවන්ට චීනයෙන් ලැබුණ තෑග්ගක් ගැනයි මේ කියන්න හදන්නේ...
කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි නිල වශයෙන් අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය වෙත භාරදීම සිදුකෙරුණා.
මෙම අවස්ථාව සඳහා චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී තිබෙනවා.
එහිදී, 2025 වර්ෂයේ පාසැල් නිල ඇදුම් රෙදි අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම චීනය විසින් නොමිලේ ප්‍රදානය කිරීම පිළිබඳව අගමැතිනිය චීන රජයට කෘතඥතාව පළ කළ අතර, ඇය සඳහන් කළේ,
"පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා චීනය දක්වන ත්‍යාගශීලීභාවය අපට ඉතා වැදගත් මොකද නැත්නම් අපි මේකට අරමුදල් හොයන්න ඕන. 2025 සඳහා චීනය අපේ රටේ සෑම පාසලකම සියලුම දරුවන්ට සහ පිරිවෙන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දීමේ කාර්යය භාරගෙන තිබෙනවා. මෙය චීනයෙන් ලැබෙන වැදගත් පරිත්‍යාගයක් වන අතර ඒ වෙනුවෙන් රජය කෘතඥතාව පළ කරනවා" යනුවෙනුයි.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817 ක් වන අතර, පාසල් නිල ඇඳුම් ලබාදීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක්.
නැව්වාර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර, පළමු සහ දෙවන නැව්වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, තුන්වන නැව්වාරය එළඹෙන දෙසැම්බර් 25 වන දා ලංකාවට පැමිණීමට නියමිතයි.