කුලී නවාතැනක දින කීපයක් නැවතී සිට කාන්තාවක්, එම නිවසට සුද්දයක් දී සොරාගත් දේපළ නැවත එම නිවසටම දී තම කුලියට හිලව් කර ගන්නැයි නිවැසියන්ට පවසා පිටව ගිහින්..
ඊට පස්සේ සිදුවෙලා තියෙන්නේ හිතන්න බැරි දෙයක්.. මේ අපූරු වැඩක් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තා වෙන්නේ හසලක පැත්තෙන්..
ඇය මහියංගනයට නුදුරු ගම්මානයක අවිවාහක 46 හැවිරිදි කාන්තාවක්... මෙම තැනැත්තිය තමන් දන්නා හඳුනන හසලක ප්‍රදේශයේ පුද්ගලයෙකුට පැවසුවේ තමන් අසවල් දින විදේශගතවීමට නියමිත බවත්, එම ගමනට තම පවුලේ අය විරුද්ධ බවයි.. එම නිසා විදේශගත වන තුරු තමන්ට රැඳී සිටීමට සුදුසු නවාතැනක් සොයාදෙන ලෙසත් නවාතැන් ගන්නා දින කීපයට අදාළ කුලිය එම නිවැසියන්ට ගෙවීමට හැකි බවයි..
ඇගේ ඉල්ලීම මත එම තැනැත්තාද ඇය කැටුව, ඔහු දන්නා හඳුනන නිවසකට කැන්දාගෙන පැමිණ එම නිවැසියන්ට කරුණු කාරණා පැවසුවෙන් නිවැසි කාන්තාව එයට එකඟ වූයේ පැමිණි තැනැත්තා නිවැසි කාන්තාව කලක සිට දන්නා හඳුනන අයෙකු හෙයිනි..
මෙම නිවසේ අයිතිකරුවන් වූ අඹුසැමියන් දෙදෙනා හැත්තෑවිය ඉක්මවූවන් වන අතර ගෘහ මුලිකයා පුද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරන අයෙක්.. ඔහු දිවා කාලයේ නිවසේ රැඳෙන්නේ නැහැ.. නිවැසි ගෘහණියද රෝගී තත්වයෙන් පෙළෙන කාන්තාවක්..
පැමිණි දින සිට නිවැසියන්ගේ සිත දිනාගෙන කටයුතු කළ ඇය ඉවුම් පිහුම් කටයුතුවලට සහය වනවාට අමතරව නිවස හා ගෙමිදුල අතුපතු ගෑමද සිදුකරනු ලැබුවා..
මෙදින එම නිවසේ ගෘහණිය වෛද්‍ය සායනයකට රෝහලට යෑමට පිටත් වූයේ ආගන්තුක කාන්තාව නිවසේ තබායි.. වෛද්‍ය සායනයට ගිය නිවැසි කාන්තාව නිවසට පැමිණෙන විට සවස් වී තිබුණා.. පසු දින ආගන්තුක කාන්තාව කිසියම් අවශ්‍යතාවකට මහියංගනයට යන බව කියමින් පිටත්ව ගොස් නැවත පැමිණෙන විට කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන පැමිණියා.. එම පෙට්ටිය විවෘත කර, ‘අක්කේ මගේ ගෙදර තිබුණු පීරිසි කෝප්ප පිඟන් වගයක් ගෙනාවා. මේවා ගෙදර තිබිලත් වැඩක් නෑනේ ඒ නිසා මම හිටපු දවස් ටිකට හිලව් වෙන්න මේවා අක්කා ගන්න’ කියා නිවසේ ගෘහණියට ලබාදී තිබුණා..
එම පිඟන් භාණ්ඩවල මිල ගණන් බලා “ආ නංගි මෙතන බර ගානක බඩුනේ. කමක් නෑ මම මේ බඩුවලට තවත් කීයක් හරි දෙන්නම්” කියා ඇය අත රුපියල් දෙදහසක මුදලක් ද තැබුවේ මුදල් එපා යැයි ඇය කියද්දීමයි...
ආගන්තුක කාන්තාව පසු දින නිවසින් පිටත්ව ගියේ නවාතැන් දී තම සහෝදරියකට මෙන් සංග්‍රහ කිරීම පිළිබඳව නිවැසියන්ට ස්තුති කරමින්..
ආගන්තුක කාන්තාව පිටව ගිය පසු පෙරදින ඇයගෙන් ලබාගත් පිඟන් කෝප්ප තැන්පත් කිරීමට අනෙකුත් පිඟන් කෝප්ප තබා ඇති කාමරයේ පෙට්ටිය විවෘත කිරීමේ දී ඇයගේ ඉහමොළ රත් වුණා..
මේ පෙට්ටියේ තිබුණු පිඟන් කෝප්ප අතුරුදන් වුණේ කොහොමද? කුලියට සිටි කාන්තාව දුන් පිඟන් කෝප්පත් තමන් සතුව තිබූ ඒවා වාගෙමයි නේ කියා සිතමින් කල්පනා කරමින් සිටින විට නිවසට නුදුරින් පිහිටි වෙළඳසැලේ කාන්තාව එම නිවසට පැමිණියා..
නිවසේ කාන්තාව ඉතා දුකින් කල්පනාවේ සිටින්නේ මොකදැයි විමසූ විට ඇය සිද්ධිය කඩයේ කාන්තාවට පැවසූ විට ඇය පැවසුවේ නිවසේ හිටපු අක්කා ලොකු ෂොපින් මලු දෙකක පිඟන් කෝප්ප වගයක් දාගෙන ඊයෙ උදේ අපේ කඩේට ගෙනල්ලා මගෙන් කාඩ්බෝඩ් පෙට්ටියක් ඉල්ලාගෙන ඒවා පෙට්ටියට දමලා කඩේ තියලා ගියා.. ආපහු ඊයේ සවස ඇවිල්ලා ඒවා රැගෙන ගියා.. මේක තමයි ඒ පෙට්ටිය කියායි..
නිවැසි කාන්තාවට කාරණය වැටහුණා.. තමන් නිවසින් පෙරදින පිටව ගිය පසු පිඟන් බඩු පෙට්ටියේ තිබූ භාණ්ඩ රැගෙන ගොස් නැවත තමන්ටම ගෙනවිත් දී ඇති බවක්.. අනේ අනේ මෙහෙමත් ගෑනු රටේ ඉන්නවානේ..
මම මේ ගෑනිගේ උගුලට අහුවුණානේ. ගෙදර හිටපු එකේ කුලිය මේ ගෑනි ගෙනත් නවත්තපු මිනිහගෙන් මම ගන්නම් යැයි දැඩි කෝපාවිෂ්ටව ඇය පවසන විට කඩේ කාන්තාව පැවසුවේ "ඇති ඔයින් ගියා තව දින දෙක තුනක් හිටියා නම් මුළු ගමටම සුද්දයක් දීල තමයි ඔය ගෑනි යන්නේ"
කියායි..