ඒත් අද ගොඩක් මිනිසුන් තමන්ගේ ජීවන රටාවත් එක්ක කාර්‍යබහුලවනවා මිස ලෙඩ රෝග ගැන හිතන්නේ හරිම අඩුවෙන්.. මේ කියන්න යන්නේ දියවැඩියා රෝගය ගැන ඇසෙන කතාවක්..
ලෝකයේ සෑම පුද්ගලයන් දස දෙනකුගෙන් එක් අයෙකුටත්, මෙරට ජනගහනයෙන් 14%ත් 23%ත් අතර ප්‍රමාණයක ඉහළ අගයකත් දියවැඩියා රෝගීන් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මේ වනවිට මැදිවියේ පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන් දක්වාම මෙම රෝගය ව්‍යාප්තවී ඇත. බොහෝ සංකූලතා ඇති කරන මෙම දියවැඩියා රෝගය සඳහා නිසි අවස්ථාවේම ප්‍රතිකාරවලට යොමු විය යුතුයි. දියවැඩියාව පාලනය කර නොගතහොත් ඇතිවන බරපතළ තත්ත්වයන්, රෝග පරීක්ෂණවලට යොමු වීමේ අවශ්‍යතාව, ප්‍රතිකාර ආදි කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ මහාචාර්ය චමිලා මෙත්තානන්ද සමඟ පැවැත්වූ සංවාදයකි...
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු මොනවා ද?
කාර්ය බහුල ජීවන රටාව, වැරදි ආහාර රටාව, ව්‍යායාම නොමැතිකම, ස්ථුලතාවය රෝගීන් බහුලවීමට හේතු වෙලා තියෙනවා. පුද්ගලයාගේ ජීවන රටාව වඩා සංකීර්ණත්වයට පත්වීමත් සමඟ ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීමට බලපාලා තියෙනවා. මීට අමතරව මවට පියාට හෝ මේ දියවැඩියාව තිබුණ නිසා ජානමය හේතුන් නිසා දියවැඩියාව වැලඳීමේ අවදානමක් තිබෙනවා.
දියවැඩියාව ජානමය සහ පාරිසරික සාධක මත රඳා පවතිනවාද?
දියවැඩියාව සඳහා ජානමය බලපෑමක් තියෙනවා. පවුලේ කෙනෙකුට දියවැඩියාව වැලඳී තිබෙනවා නම් දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. උදාහරණයක් විදිහට පවුලේ මවට හෝ පියාට දියවැඩියාව තියෙනවා නම් ඒ පවුලේ දරුවන්ට දියවැඩියාව හැදෙන්න තියෙන අවස්ථාව වැඩියි.
දියවැඩියාව හේතුවෙන් අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍ය වීම සිදු විය හැකිද?
වර්තමාන ලෝකයේ අන්ධභාවය ඇති වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ දියවැඩියාවයි. රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම නිසා එමගින් ඇසේ දෘෂ්ටි විතානයට හානි වෙනවා. මේ නිසා අන්ධභාවය ඇති වෙනවා. දියවැඩියාව නිසා හෘදයාබාධ, අංශභාගය, කකුලේ රුධිර ගමනාගමනය අඩු වීම, පාද හිරි වැටීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඇස් පෙනීම අඩු වීම, වකුගඩු අක්‍රීයවීම වෙන්න පුළුවන්. මීට අමතරව Fatty Liver තත්ත්වය කල්ගත වී සිරෝසිස් තත්ත්වයට පත් වෙන්න පුළුවන්.
දියවැඩියා රෝගයට ලබාදෙන ඖෂධවලට වකුගඩු නරක් වෙනවා යැයි සමාජයේ ඇති මතය සත්‍යක්ද?
දියවැඩියාව නිසා වකුගඩු නරක් වෙනවා. වකුගඩු නරක් වුණාම සමහර ඖෂධ නවත්වනවා. නමුත් හේතුව දියවැඩියාව පාලනය නොවීමයි. දියවැඩියාවෙන් වකුගඩුවලට වන හානිය බෙහෙත්වලින් වන ආබාධවලට වඩා ඉතා වැඩියි. දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩි වී තිබීම නිසා වකුගඩු මඟින් සිදු කරන පෙරීමේ යන්ත්‍රණයට යම් යම් බාධා ඇති වෙනවා. මේ නිසා යම් ආකාරයක වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. බොහෝ දෙනකු තුළ ඖෂධ භාවිතයෙන් විවිධ අතුරු ආබාධ ඇති වේ යැයි සමාජය තුළ මතයක් ගොඩනැඟී ඇති මුත් නිසි වෛද්‍ය උපදෙස් යටතේ ඖෂධ ලබාගන්නා රෝගියකුට එවන් තත්ත්වයක් උදාවන්නේ නැහැ. එනිසා නිසි වෛද්‍යවරයෙක් මුණගැසී දියවැඩියා රෝගයට ඖෂධ ලබාගත යුතු වෙනවා.
දියවැඩියාව පාලනය සඳහා නොයෙකුත් ඖෂධ වර්ග වෙෙළඳපළේ තියෙනවා මේවා භාවිතයේදී දැනුම්වත් විය යුතු කරුණු මොනවාද?
දියවැඩියා රෝගියෙකු විශේෂයෙන්ම ප්‍රතිකාර සඳහා යොමු වීමේදී වෛද්‍යවරයෙකු මුණගැසී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි. දියවැඩියාව සුව කරගැනීම සඳහා ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය නිසා රෝගය උත්සන්න වෙන්න පුළුවන්. බොහෝ දියවැඩියා රෝගීන් ඖෂධ නතර කර කෑමෙන් සහ ව්‍යායාමවලින් විතරක් දියවැඩියාව පාලනය කරන්න බලනවා. මේක ඇත්තටම නොකළ යුතු දෙයක්. ආහාර පාලනය සමඟ බෙහෙත් ලබාගැනීම සිදු කර ඉතා ඉක්මනින් රුධිරයේ සීනි පාලනය කිරීම ඉතා වැදගත්. මොකද කිව්වොත් රුධිරයේ සීනි පාලනය නොවී තියෙන හැම තප්පරයක් ගාණෙම ශරීරයේ අවයවවලට බලපානවා. වකුගඩු නරක් වෙනවා. ඒවා යථා තත්ත්වයට ගන්න බැහැ. රුධිරයේ ඉහළ සීනි මට්ටමක් ඇති රෝගීන්ට ඖෂධ භාවිතයෙන් රෝගය පාලනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්, මේ නිසා කිසිදු වගකීමක් නොමැති ඖෂධ භාවිතයට නොගෙන සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. ප්‍රමිතියෙන් තොර සහ වෛද්‍ය නිර්දේශකින් තොරව ලබා ගන්නා ඖෂධ නිසා දියවැඩියා රෝගය උත්සන්න වීමට සේම, සංකූලතා වර්ධනයට ද හේතු වෙන්න පුළුවන්. නිසි වෛද්‍ය උපදෙස්වලින් තොරව ලබාදෙන ඖෂධ අද වන විට අලෙවිසල්වලින් අලෙවි කරනවා. මේවායේ ප්‍රමිතිය සෑම දියවැඩියා රෝගියකුටම සුදුසු වෙන්නේ නැහැ. මෙමඟින් දියවැඩියා රෝගියකුගේ ශරීරයේ ඇති වෙනත් රෝග උත්සන්න වී මියයෑමට පවා හැකියාව තිබෙනවා.
ඖෂධ නොගෙන දියවැඩියාව පාලනය කළ හැකිද?
දියවැඩියා රෝගයට ගොදුරු වුණාම රෝගය පාලනය කිරීමට ඖෂධ භාවිත කිරීම සිදු කරනවා. මෙහිදී ඖෂධ භාවිතය සහ ආහාර පාලනය දෙකම මඟින් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. නමුත් නවතම Guidelineවලට අනුව කෑම පාලනය විතරක් නිර්දේශ කරන්නේ නැහැ. වෛද්‍යවරයකු නිර්දේශ කරන ඖෂධ අනිවාර්යයෙන්ම ගත යුතු වෙනවා. ඖෂධ ලබා ගැනීම වගේම සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගැනීම හරහාද දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. ශරීරයේ බර පාලනය, ව්‍යායාම කිරීම, කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අඩු කිරීම, මත්පැන් සහ දුම්පානය කිරීමෙන් වැළකීම වැදගත්. සෞඛ්‍යමත් ආහාර පුරුදු සහ ව්‍යායාම සහිත ක්‍රියාශීලී දිවියක්ගත කරන පුද්ගලයෙකුට දියවැඩියා අවදානම අඩුයි. විශේෂයෙන්ම උසට සරිලන බරක් පවත්වා ගෙන යාම ඉතා වැදගත්. ඒ වගේම සිරුරේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කිරීම ද ඉතාම අවශ්‍යයි. දියවැඩියාව ඖෂධ, ආහාර සහ ව්‍යායාම මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකියි. මුලින්ම හඳුනාගතහොත් ඉතා අඩු ඖෂධ මාත්‍රාවකින් සහ සෞඛමත් දිවි පැවැත්මකට හුරුවීමෙන් සංකූලතා රහිතව නීරෝගිව ජීවත්වීමේ හැකියාව ලැබෙනවා.
දියවැඩියාව අක්මාවේ මේදය තැන්පත්වීම (Fatty Liver) තත්ත්වය සඳහා බලපාන්නේ කොහොමද?
අක්මාවේ මේදය තැන්පත්වීම (Fatty Liver) තත්ත්වය දැන් ලෝකයේ තිබෙන විශාල ප්‍රශ්නයක්. ලෝක ජනගහනයෙන් 30% කට මේ තත්ත්වය තියෙනවා. දියවැඩියාව ඇති අයට මේ තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය තවත් වැඩියි. ලංකාවේ ජනගහනයෙන් 60%කට Fatty Liver තියෙනවා. ලංකාවේ කාන්තාවන් මත්පැන් පානය කිරීම අඩුයි. නමුත් ඔවුන්ට Fatty Liver හැදෙන්න පළමු හේතුව වන්නේ දියවැඩියාවයි. Fatty Liverවල භයානකකම තමයි එය දිගුකාලීනව සිරෝසිස් තත්ත්වයට හෝ අක්මා පිළිකාවලට හැරෙන්න පුළුවන්. දියවැඩියාව ඇති අය ස්ථුල නම්, උදරය මහත් නම් දිගු කාලිනව දියවැඩියාව ඇත්නම් හෝ පවුලේ අයට Fatty Liver හෝ අක්මා පිළිකා තිබී ඇත්නම් Fatty Liver තිබීමට අවදානම ඉතා වැඩියි. මීට අමතරව කෙට්ටු අයට වුණත් අක්මාවේ තෙල් තියෙන්න පුළුවන්. (lean NAFCD – Non Alcohlic Fatty Liver Disease) දියවැඩියාව සහ Fatty Liver ඇති අයගෙන් 20%ක් කල් යනවිට මේ තත්ත්වයට හැරෙන්න පුළුවන්. Fatty Liver තියෙන අයට උදරයේ දකුණු පස සුළු අපහසුවක්, කැක්කුමක්, පිරුණු බවක් දැනෙන්න පුළුවන්. සමහරුන්ට රෝග ලක්ෂණ නැහැ. ඒ නිසා ඔබට දියවැඩියාව ඇත්නම් Fatty Liver තියෙනවාද කියා පරීක්ෂා කරලා බැලීමට සිදු වෙනවා. මොකද කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වැදගත්. සිරෝසිස්වලට පත් වුණාම එය හොඳ කරන්න බැහැ. Fatty Liver grade හතරක් තියෙනවා. grade 4 කියන්නේ සිරෝසිස් තත්ත්වයයි. අනිත් stage 3ට නිසි ප්‍රතිකාර මඟින් හොඳ කරන්න පුළුවන්. පරීක්ෂණ වශයෙන් කරන්න තියෙන්නේ සුළු ලේ පරීක්ෂණ 3ක්. FBC-(Full Blood Count), AST-(Aspartate aminotransferase), ALT-(Alanine aminotransferase) සහ උදරයේ Ultra sound scan එකක්. මෙහි අගයන් අනුව වෛද්‍යවරයාට ඔබට නිසි ලෙස බෙහෙත් නිකුත් කරන්න පුළුවන්. මීට අමතරව තත්ත්වය ගොඩක් නරක නම් එය සිරෝසිස් තත්ත්වයට ළඟඳ බැලීමට Fibrosis scan එකක් කරන්න පුළුවන් නමුත් මෙම scan එක ලංකාවේ රජයේ රෝහල් 2ක (කොළඹ ජාතික රෝහල,රාගම) සහ එක පෞද්ගලික රෝහලක තමයි තිබෙන්නේ. පෞද්ගලිකව කරන්න රු.20000ක් විතර වැයවෙනවා. නමුත් ඒකෙන් අක්මාවේ Fibrosis ප්‍රමාණය මනින්න පුළුවන්. Fatty Liverවලට ප්‍රතිකාර ලෙස සිරුරේ බර 10% කින් අඩු කරගන්න ඕනේ. මීට අමතරව දිනකට මිනිත්තු 30ක් වත් ව්‍යායාම කරන්න ඕනේ. ආහාරයේ කාබෝහයිඩ්‍රේට් හා මේද ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. ඖෂධ වශයෙන් අලුත් ඖෂධ තියෙනවා. උදා- Obeticholic Acid තියෙනවා. මෙය සිරෝසිස් රෝග තත්ත්වයට පත්වීමට ළඟ අයට තමයි ලබා දෙන්නේ. මෙය සාර්ථක නමුත් මිල වැඩියි.මසකට රු.30000ක් විතර වැය වෙනවා.Fatty Liver මුල තත්ත්වයේ අයට Vitamin E,Pioglitazone වැනි ඖෂධ වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. නමුත් අවධාරණය කරන්න ඕන ඖෂධවලින් කරනවාට වඩා බර අඩු කිරීම ආහාර පාලනය හා ව්‍යායාම ඉතා වැදගත්. මෙය 20%ක් විතර වැඩ කරනවා. Vitamin E,Pioglitazone 1%ක් විතර තමයි වැඩ කරන්නේ. ඒ නිසා නීරෝගි ජීවන රටාවකට හුරුවීම හා රෝගියාගේ කැපවීම ඉතා වැදගත්.
දියවැඩියාව සම්බන්ධ සමාජයේ නොදැනුවත්භාවය, පරීක්ෂණ සඳහා යොමු නොවීම දියවැඩියා රෝගීන්ගේ ඉහළ යාමට බලපාන්නේ කොහොමද?
තමන්ට දියවැඩියාව ඇත්දැයි සොයා ගන්න පුළුවන් වෙන්නේ රුධිර පරීක්ෂාවක් මඟින්. බොහෝ දෙනා පරීක්ෂණ නොතකා හැරීම නිසා රෝගය ඔඩු දුවන්න පුළුවන්. මෙය බරපතළ තත්ත්වයක්. පරීක්ෂණයක් හරහා තමයි අපට දියවැඩියා රෝගීන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ. බොහෝ දෙනෙකු දියවැඩියාව තියෙනවා කියලා දැන ගන්නකොට බොහෝ සංකූලතා ඇති වෙලා. ඒ නිසා වයස අවුරුදු 35-40ට වැඩි සියලුම දෙනා සීනි වැඩි වූ විට ඇතිවන රෝග ලක්ෂණ දැනගන්න ඕනේ. දහඩිය දැමීම, බඩගිනි වීම, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. මෙවැනි රෝග ලක්ෂණ පවතින හැමෝම රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගත යුතු වෙනවා. මීට අමතරව අධික තිබහ, නිතර මුත්‍රා පහවීම, ඇඟ කෙට්ටු වීම, සහ පවුලේ කෙනෙකුට දියවැඩියාව ඇත්නම් රුධිර පරීක්ෂණයක් කර තමාට දියවැඩියාව තිබෙනවා දැයි බලන්න ඕනේ. මේ රෝගය සම්බන්ධයෙන් තිබෙන නොදැනුවත්කම නිසා පරීක්ෂණවලට යොමු වීමේ අඩුවක් තියෙනවා. සංකූලතා ඇති රෝගීන් ඉහළයෑම අඩු කර ගැනීමට දියවැඩියාව කල්තියා හඳුනාගැනීම සඳහා වැඩි වශයෙන් පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි.
දියවැඩියාව පාලනය සඳහා සෞඛ්‍ය අංශ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත්විය හැකිද?
මේ පිළිබඳව සමාජයේ තිබෙන දැනුවත්භාවය අඩුයි. මේ නිසා වයස අවුරුදු 35ට වැඩි අය මෙම දියවැඩියා පරීක්ෂණය කරගැනීම ඉතා වැදගත් බව පෙන්වා දෙන්න ඕනේ. පරීක්ෂණවලට යොමු වීම හරහා තමයි අපිට රෝගීන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ. දියවැඩියා රෝගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් වැඩි කරන්න ඕනේ. ඒ වගේම දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අය වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපැදීම අවශ්‍ය කාරණයක්. ඒ වගේම රෝගීන් හඳුනාගැනීම සහ අවශ්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා යොමු කිරීම වෛද්‍යවරුන් විසින් කළ යුතුයි. නිසි දියවැඩියාව පාලනයට රෝගීයාගේ උනන්දුව, වෛද්‍යවරුන්ගේ කැපවීම හා රජයේ කැපවීම යන සියල්ලම වැදගත්.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..