ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමුවරට මාධ්‍ය නාලිකාවක් සිදුකරන අසමසම මහා පුණ්‍යෝත්සවය “හිරු සංසාර වන්දනා“ ඓතිහාසික කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවයේ වන්දනීය කඨින චීවරය රැගත් රිය පෙරහර හෙට කතරගම දක්වා යළි ගමන් කිරීමට නියමිතයි.
රුපියල් ලක්ෂ 150කට අධික පිරිවැයක් දරා කිරිවෙහෙර පුදබිමේ විදුලි ආලෝක අවශ්‍යතාවය සපුරාලන සූර්ය පැනල පද්ධතිය සසුනට පූජා කිරීම ද හෙට පස්වරු 6.30ට සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඓතිහාසික කතරගම පුදබිම ශඩ්වර්ණාලෝකයෙන් ඒකාලෝක කෙරෙන අතිවිශේෂ ආලෝක පූජාවද ඉන් අනතුරුව සිදු කෙරෙනවා.
එදිනම රාත්‍රී 7 සිට කතරගම ප්‍රධාන බස් නැවතුම් පොළේ සකසා ඇති විශේෂ වන්දනීය මණ්ඩපයේ වන්දනීය කඨින චීවරය තැන්පත් කෙරෙන අතර සැදැහැවතුන්ට එහිදී කඨින චීවරය වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවනවා.
කඨින මහා පිංකමට සමගාමීව කතරගම බුද බිමේ 25,000කට අධික පිරිසක් වෙනුවෙන් සංවිධානය කෙරෙන සුවිසල් රාත්‍රී සහ උදෑසන මහා දන්සල විවෘත කිරීමට නියමිතයි.
එදින රාත්‍රියේ පැවැත්වෙන පිරිත් සඡ්ඡායනයෙන් අනතුරුව ඉරිදා අලුයම 4.00ට කඨින චීවරය වැඩමකරුවනු ලබන්නේ අලි ඇතුන් සහ සංස්කෘතික ආංගවලින් සමන්විත විචිත්‍රවත් පෙරහරකින්.
අනතුරුව අනිද්දා උදෑසන 6ට වන්දනීය කඨින චීවරය සඟසතු කොට ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට පූජා කිරීම සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
හිරු සංසාර වන්දනා කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරස්ථාන වාර්ෂික කඨින මහා පුණ්‍යකර්මයේ දහවල් දානය මහා සංඝරත්නයේ 600 නමක් උදෙසා සිදු කෙරෙන්නේ දහවල් 11 ටයි.
කඨිනාසංස ධර්ම දේශනාව එදින පස්වරු 5ට ආරම්භ කෙරෙනු ඇති.
“හිරු සංසාර වන්දනා“ ඓතිහාසික කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවයේ වන්දනීය කඨින චීවරය ඊයේ පස්වරුවේ පැලවත්ත හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේ සිට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුණේ 35 වැනි මහලේ පිහිටි හිරු ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කරවනු ලැබුවා.
හිරු සංසාර වන්දනා කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්යා්ත්සවය මෙවර සිදු කෙරෙන්නේ මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට නිරතුරුවම සිය සැදැහැති දායකත්වය ලබාදෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ බැතිබර සංකල්පයකට අනුවයි.
ලක් ඉතිහාසයේ පළමු වතාවට කඨින චීවරයක් උදෙසා සිදුකෙරෙන දීර්ඝතම වීදි සංචාරය සනිටුහන් කරමින් කඨින චීවරය රැගත් රිය පෙරහර කතරගම කිරිවෙහෙර පුදබිමෙන් ගමන් ආරම්භ කල අතර පෙරේදා පස්වරුවේ පැලවත්ත හිරු ලයිෆ් ස්ටූඩියෝ මැදිරි සංකීර්ණය වෙත පැමිණියා.
ඉන් අනතුරුව හිරු ලයිෆ් ස්ටූඩියෝ මැදිරි පරිශ්‍රයේ ඉදිකළ විශේෂ මණ්ඩපය වෙත වන්දනීය කඨින චීවරය වැඩමවීම සිදුකෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින්.
ඉන් අනතුරුවයි වන්දනීය කඨින චීවරය ඊයේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුණේ 35 වැනි මහලේ පිහිටි හිරු ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කරවනු ලැබුවේ.
එහිදී ආගමික වතාවත් සිදු කරමින් අනුශාසනාව කළ ආචාර්ය පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමින් වහන්සේ.