පලාගල නාන්වත්තේගම ප්රදේශයේදී ඊයේ (03) සවස දර තොගයක් ප්රවාහනය කරමින් තිබූ අත්ට්රැක්ටරයක් පෙරළීයාමෙන් එහි ගමන්ගත් 14 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ, නෑගම නාන්වත්තේගම ප්රදේශයේ පදිංචිව සිටි වීරසිංහ ආරච්චිගේ සෙනෙත් ඒෂාන් වීරසිංහ නමැති නෑගම සිරිසුමන විදුහලේ නව වැනි වසෙරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.
දර ප්රවාහනය කරමින් තිබූ අත්ටැක්ටරයක් බෑවුමක් හා වංගුවක් සහිත ස්ථානයකදී රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවත පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු, මිය ගිය සිසුවා සහ තවත් අයෙකු එම අත්ට්රක්ටරයේ ගමන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ට්රැක්ටරය පෙරළී යාමත් සමඟ එහි සිටි එම පිරිස ඉන් ඉවතට විසිවි වැටී ඇති අතර, එම අවස්ථාවේ දර පැටවූ ට්රැක්ටර් ටේලරය බිම වැටුණු සිසුවා මතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවා එම අවස්ථාවේදී පොලිසිය හා ප්රදේශවාසීන් එක්ව කලාවැව ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, රෝහල් ගතකරනවිටත් එම සිසුවා මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිසුවාට මරු කැදවූ එම අනතුරට සම්බන්ධ අත්ට්රැක්ටරය හා එය පැදවූ රියදුරු ද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම රියදුරාද නෑගම නාන්වත්තේගම ප්රදේශයේම පදිංචි අයෙක්.
අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ට්රැක්ටර් රථ රියදුරු අද (04) කැකිරාව මහේස්ත්රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.