කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අවසන් වසරේ සිසුන් ගමන් ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැට්ටක වැදී පෙරළී සිදුවූ මාරක අනතුරට හේතුව රියැදුරු රථය අධික වේගයෙන් ධාවනය කිරීම හා තිරිංග අක්‍රීය වීම බව මේ වනවිට පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශනවලින් තහවුරු වී තිබේ.
පසුගිය 01 වැනිදා පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගොස් තවත් සිසු සිසුවියන් ඇතුළු 39 දෙනෙක් තුවාල ලබා බදුල්ල ශීක්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
බස් රථය පැදවූ රියැදුරු ද මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් ඔහුගෙන් මෙතෙක් පොලිසියට ප්‍රකාශයක් ලබා ගැනීමට හැකි වී නැත.
අනතුරට මොහොතකට පෙර රියැදුරු රථයේ තිරිංග ක්‍රියා විරහිත වූ බව එම සිසුන්ට පවසා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසියේ අවධානය යොමුව ඇත.
බස් රථය අනතුරට ලක්වීමට මිනිත්තු කිහිපයකට පෙර ත්‍රිරෝද රථයක් පසු කර වේගයෙන් ධාවනය කළ අයුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක ඩෑෂ් කැමරාවේ සටහන් වී තිබේ.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව තිරිංග ක්‍රියා විරහිතවීමක් ද අධික ලෙස ධාවනය කිරීමෙන් සිදුවූවක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද බදුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මේ අතර අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල ශීක්ෂණ රෝහලේ දී සිදු කෙරිණි.
එම දේහයන් හඳුනා ගැනීමට සිසුවියන් දෙදෙනාගේ මාපියන් ඇතුළු ඥාතීහු විශාල පිරිසක් රෝහලට පැමිණ සිටියහ.
අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ මරණවලට හේතුව හිසට සහ මොළයට සිදුවූ බරපතළ හානි බව බදුල්ල ශික්ෂණ රෝහලේ දී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
එම පශ්චාත් මරණ පරීක්ෂක බදුල්ල රෝහලේ විශේෂඥ අධිකරණ වෛi නිලධාරි කේ. ඩබ්. එම්. කේ. ඩී. විජේතුංග මහතා ඇතුළු අධිකරණ වෛi නිලධාරි කණ්ඩායම විසින් සිදු කරනු ලැබූහ.
අනතුරින් මියගියේ 23 හැවිරිදි නිවිතිගල, කොලඹුගම පදිංචිව සිටි ඉසුරි උමයංගනා සහ කුරුණෑගල, උණකොළගෙදර දිංචිව සිටි එන්. එම්. පී. තරංගා හෙට්ටිමුල්ල වන සිසුවියන් දෙදෙනායි.
මියගිය සිසුවියන්ගේ දේහයන් 01 වැනිදා රාත්‍රියේදීම පවුලේ ඥාතීන්ට භාරදුන් බව බදුල්ල ශීක්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛi ගයාන් කුරේ මහතා පැවැසීය.
ඔවුන්ගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. අනතුරින් තුවාල ලැබූ 39 දෙනාගෙන් කිහිපදෙනකු ඊයේ (03දා) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
තුවාලකරුවන්ගේ ජීවිත අවදානම මේ වනවිට පහව ගොස් ඇතැයි ද ඊයේ වන විට ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි ද බදුල්ල ශීක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛi නිලධාරි පාලිත රාජපක්ෂ මහතා පවසයි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 10 දෙනාගෙන් කිහිපදෙනකු ඊයේ සාමාන්‍ය වාට්ටුවලට මාරු කර යැවූ බවද ඒ මහතා කීය. තවදුරටත් ඔහු මෙසේද කියා සිටියේය.
“මේ හැම දෙනාගේම ජීවිත අවදානම දැන් පහවෙලා. ඒ දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් අපට ලොකු බලාපොරොත්තු තියාගන්න පුළුවන්. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දස දෙනාගෙන් පිරිසක් සාමාන්‍ය වාට්ටුවලට මාරු කිරීමට හැකි වෙයි. තවත් කිහිපදෙනකුට අධිකරණ වෛiවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රෝහලෙන් පිටවී යෑමට පුළුවන්.
දැන් තත්ත්වය අනුව කිසිම රෝගියකු ගුවන් මගින් කොළඹට ගෙන යෑමේ අවශ්‍යතාවක් නැහැ. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලු පහසුකම් රෝහලේ තිබෙනවා."
සිය දියණියගේ වියෝවෙන් දැඩි ශෝකයට පත් ඉසුරි උමයංගනා සිසුවියගේ මව බදුල්ල ශීක්ෂණ රෝහලේ දී හැඬූ කඳුළින් මෙසේ පැවැසුවාය.
''මියගිය මගේ ලොකු දුව අනතුර සිදුවුණු 01 වැනිදා උදෙත් කතා කරලා කිව්වා රත්නපුරය හරහා යන්නේ කියලා. අද තාත්තගේ උපන් දිනය. එයාගේ යාළුවට කතා කරලා කියලා තියෙනවා කේක් එකක් හදලා තාත්තව පුදුම කරන්න ගෙදරට ගිහින් දෙන්න කියලා.මගේ උපන් දිනය දවසෙත් එයා මේ කට්ටිය එක්කම නුවරඑළියේ ටි්‍රප් එකක් ගිහින් ඇවිත් කිව්වා අම්මේ අනූනවයෙන් අපි බේරුණේ කියලා.නිව්ස් බලන්න ‘බස් එකක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා’ කියලා ආරංචියක් ලැබුණා. දුවගේ ෆෝන් එකට කෝල් ගත්තා. වෙන කව්ද කතා කරලා කිව්වා එයා මෙතන නැහැ මගේ අතේ ෆෝන් එක තියෙන්නේ කියලා.උදේ 6.00ට තාත්තගේ උපන් දිනේට FB පෝස්ට් එකක් දාපු දරුවා පැයකට පස්සේ මැරෙනවා.
ඒ වගේම දුව අලුයම 5.03ට වට්ස් ඇප් එකේ එවා තිබෙනවා “ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි. ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි. සුබ උපන් දිනයක් වේවා තාත්තේ” කියලා ඉසුරි දුව සටහනක් තියලා තියෙනවා.''
ඉසුරි උමයංගනා සිසුවියගේ ගුරුවරයකු මෙසේ කියා සිටියේය.
“මෙවැනි ක්‍ෂේත්‍ර චාරිකාවක් සඳහා බස් රථයක යනකොට තිරිංග නැති වුණා කියලා ඛේදජනක සිදුවීමක් වෙනවා නම් හරිම කනගාටුදායකයි. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය වැනි තැනක මෙවැනි සිදුවීමක් වුණා කියන එක තමයි බරපතළම කාරණය. යුද හමුදාවෙන් පරිපාලනය වෙනකොට ඉතා වගකීමෙන් මේ සියලු කාර්යයන් ඉටු වෙනවා කියලයි රටේ මිනිස්සු හිතන්නේ. නැවත මෙවැනි ඛේදජනක සිදුවීම් සිදු නොවෙන්න කටයුතු කරන්න කියලා වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.''
මෙම අනතුර සිදුවූ ස්ථානය අසල සිටි කාන්තාවක් සියැසින් දුටු අත්දැකීම මෙසේ විස්තර කළාය.
“ඒ පුතා මීගමුවෙලු. එයාගේ නැන්දයි මාමයි තමයි මහියංගනයේ ඉඳලා බලන්න ආවේ. මගේ කඩේට. කඩේට ඇවිත් තමයි කිව්වේ නංගි බෑග් එහෙම අත්සන් කරල ගන්න ඕන අපේ පුතාගේ ලැප් එක කැඩිලා එයා ඒකට හරි කනගාටු වුණා කියලා. එයා ඇවිල්ලා එහෙම කියනකොට මට කිව්වා එයාට කිව්වලු බස් එකේ බ්රේක් නැහැ. ඊට පස්සේ මොකද වුණේ කියලා අහන කොට පැද්දෙනවා විතරයි එහා පැත්තට එච්චරයිලු එයාට මතක.
ඔක්කොල්ලාම හිරවෙලා හිටියේ. ඔක්කොම ඩැමේජ්. එක ළමයකුගේ ඇහැ එල්ලිලා තිබුණේ. දත් ඇන්ද ගැලවුණා. ඒක ඇස් දෙකටම දැක්කා. ඒක කියන්නත් ඇත්තටම වේදනයි අපිට. අපේ දරුවො වගේ. ඒ තරම්ම ඒ අයගේ ලේ ගලනවා. දැක්කට පස්සේ මට උණ. මම ගිහින් බෙහෙත් අරගෙනත් ආවා. ඒ තරම්ම කම්පනයට පත් වුණා මම.එළියට ගත්තු ළමයි ටික පාරේ වාහන ටික නතර කරලා තිබුණත් කව්රුවත් දාගත්තේ නැහැ මහත්තයෝ. සමහර වාහනවල ළමයින්ව බලෙන් දාලා යැව්වේ. ඉන්න ඉන්න කට්ටියට කතා කරලා දාලා පටවලා ඇරියා. ගෑනු කියලා බැලුවේ නැහැ අපි සියලු දෙනාම සහයෝගය දැක්වූවා.ඒ ළමයි මෙහෙම හරි බේරෙන්න හේතුව සියලු දෙනා සහයෝගයෙන් ළමයි ටික එළියට ගත්තු නිසා.
බස් එකක් ආවා එතැනට. ඒ බස් එකට කිව්වා මල්ලි උදව් කරන්න මේ ළමයි ටිකක් හිරවෙලා ඉන්නෙ කියලා. දිවුලපැලැස්සේ ප්‍රයිවට් බස් එකක්. මගේ කඩේ ඉස්සරහ නතර කළා. මම කිව්වා බස් එකේ ඉන්න පිරිමි කට්ටිය එන්න මේ තුවාලකරුවන් අරන් දෙන්න කියලා. ඒගොල්ලෝ ටික බැහැලා දුවගෙන ආවා. එතකොට බස් එකේ රියැදුරා කොල්ලො ටිකට කෑගහලා ගෙන්වා ගත්තා. බස් එකට නග්ගගෙන උන් ගියා. ඔන්න බලන්න අමනුස්සකම.
ඊට පස්සේ එතැනට ඩොක්ටර් කෙනෙක් ආවා. මම පාරට බැහැලා අනේ මහත්තයා මේ ළමයි ටික රෝහලට අරගෙන යන්න. ඒ අයගේ ජීවිත බේරා දෙන්න. ඔයාට ඒ පින් ලැබෙනවා කියලා කිව්වා. පස්සේ ඒ මිස් බැහැලා අමාරුම තුන් දෙනෙක් දා ගත්තා.සමහර මිනිස්සු බල්ලො වගේ වීඩියෝ කළා. මම බැන්නා. මේ කෙනකුට කරදරයක් වුණාම වීඩියෝ එක නෙවෙයි අපිට ඕන මේ මිනිස්සු බේර ගන්නයි කියලා. බස්වලින් බැහැ බැහැ ඇවිත් වීඩියෝ කළා.
සී.ටී.බී. බස් එකක ඩ්‍රයිවර් සෙනග බස්සලා සී.ටී.බී. එකට කතා කරලා තුවාලකරුවන් බස් එකට දා ගත්තා. අන්තිමටම තමයි අරන් ගියේ අර මැරිච්ච ළමයින්ව. එක ළමයකගේ මොළය එළියේ. මේවා දැක්කම දරා ගන්න බැහැ.සී.ටී.බී. එකේ ඩ්‍රයිවර්ට ගොඩක් ස්තූති කරන්න ඕන. අපි අද හිටියා හෙට නැති වෙන්න පුළුවන්. ඒත් මනුස්සකම තියෙන්න ඕන.''
බදුල්ල මූලස්ථාන පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරයි.
උපුටා ගැනීම - දිවයින