ජීවිතය පිළිබඳ සුබ සිහින දකින්නට වරම් අහිමි වී, ජීවිතයට වඩා තමා සමීපව ඇත්තේ මරණයට යැයි දැනෙන සිතුවිල්ල හිතකට කොතරම් වේදනාබර එකක් විය හැකිද?
එහෙත් ඒ ඉරණමට සාප කරනවා වෙනුවට ගතවන හැම තත්පරයකදීම තම ආධ්‍යාත්මික සුගතිය වෙනුවෙන් පින් දහම් කරන්නට නැඹුරු වූ හිතක් කොතරම් පින්බරද? මේ කතාව එවැනි පින්බර දිරිය දියණියක ගැනය.
පිළියන්දල මාකන්දන පදිංචි පවිත්‍රා මධුභාෂිණී උපත ලැබුවේ 1996 වසරේ මැයි මස පළමු වැනිදාය. පවුලේ වැඩිමහල් දියණිය ලෙස මව්පියන්ගේ සෙනෙහස නොමඳව ලබමින් වැඩුණු පවිත්‍රා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විද්‍යාලයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නේ ලකුණු 154ක් ලබා ගනිමිනි.
අධ්‍යාපනයට සේම ක්‍රීඩාවටත් බාහිර ක්‍රියාකාරකම්වලටත් එක සේ දස්කම් පෑ සිය දියණිය 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මුහුණ දුන් අභාග්‍ය සම්පන්න ඉරණම ගැන ඇයගේ පියා අසෝක ප්‍රියන්ත මෙසේ හඬ අවදි කළේය.
“හොඳට හිටපු දුවගේ එකපාරටම කන ඇසීම අඩු වුණා. දුව ටීවී එකේ සද්දේ ගොඩක් වැඩි කරලා බලන්න ගත්තහම තමයි අපිට තේරුණේ දුවගේ කන ඇසීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මුලින්ම අපි ශ්‍රවණාධාරයක් දාලා බැලුවා ඒකෙන් කන ඇහෙනවද කියලා. ඊට පස්සේ වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් රිජ්වේ ආර්යා ළමා රෝහලටත් දුව රැගෙන ගියා. නිසි ප්‍රතිකාරයක් නොලැබුණු නිසා පෞද්ගලික රෝහලක වෛද්‍යවරුන්ටත් දුව පෙන්නුවා. ඔවුන් කිව්වේ දුවගේ කන ඇසීමේ ප්‍රශ්නය ස්නායු එක්ක සම්බන්ධ ගැටලුවක් නිසා ශ්‍රවනාධාරවලින් ඒක හදන්න බෑ කියලා. ඔහොම මාස දෙකක් විතර යනකොට දුවට කෑම කන්න බැරිවුණා.
කෑම කද්දි කැස්සක් එන්න පටන් ගත්තා. ඒ නිසා කෑම ගිලින්න බැරි වුණා. වෛද්‍ය පරීක්ෂණවලින් කියැවුණේ ගලනාලය ශ්වාසනාලය පැත්තෙන් විවෘත නොවීමේ ප්‍රශ්නයක් නිසයි එහෙම වෙන්නෙ කියලා. මේ වෙද්දි දුවට කන්න බැහැ. ඉඳිආප්පයක් දෙකක් වගේ පොඩි ප්‍රමාණයක් අමාරුවෙන් ආහාරයට ගත්තා. ඒ අතරේ දුවට උණ හැදුණා. අපි ජයවර්ධනපුර රෝහලේ දුව නතර කළා. එහෙන් කිව්වා දුවට තියෙන්නෙ නිව්මෝනියා තත්ත්වයක්, ඇයට දීපු ආහාර පෙනහලුවලට ගිහින් නිසයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ කියලා. මාස තුනක් විතර ඒ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ඒ වෙද්දි දුවට කෑම කන්නම බැහැ. ඒ නිසා ආමාශයට බටයක් දාලා දවසකට වේල් 2ක් පැය දෙකෙන් දෙකට මිලි ලීටර් 200 ගානේ දියරමය ආහාර පමණක් දුන්නා. ඒ වෙද්දි දුවට හුස්ම ගන්න, කතා කරන්න, ඇවිදින්න, හිටගන්න තියා ඔළුව උස්සගන්නත් අමාරු වුණා. නමුත් අපි කියන දේවල් හොඳට එයාට තේරෙනවා. දුව අපිට කියන්න ඕන දේවල් ලියලා දෙන්න පුරුදු වුණා. මෙහෙම මාස 6ක් විතර ගතවුණා. පස්සේ දුව කොළඹ ජාතික රෝහලට මාරු කළා. ”
ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඒ වන විට තිබූ ශ්වසන යන්ත්‍ර (වෙන්ටිලේටර්) හයෙන් එකක් පවිත්‍රා දියණිය වෙනුවෙන් වෙන් කෙරිණි. එහිදී වෛද්‍යවරුන්ගෙන් අසෝක දැනගෙන තිබුණේ ඉකුත් වසර 100ටම ලෝකයෙන්ම මෙම රෝගය වැලඳී ඇත්තේ 48 දෙනකුට පමණක් බවය. එය එතරම් දුලබ රෝගයක් වූ නිසාම පවිත්‍රා දියණිය වෙනුවෙන් කළ යුතු වෛද්‍ය ප්‍රතිකාරයක් ඒ වන විට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ නොවීය. ඒ කටුක ඉරණටමට පවිත්‍රා මුහුණ දුන් ආකාරය ගැන අසෝක සිහි කළේ මෙසේය.
“මාස 6කට පස්සේ රෝහලෙන් කිව්වා දුවගේ මැෂින් එක ගලවන්න වෙනවා කියලා. ඒත් මම ඒ ලියවිල්ලට අත්සන් කළේ නැහැ. මම කිව්වා මම කොහොමහරි හෘදය ක්‍රියා කරවන මැෂින් අරගෙන දරුවා ගෙදර ගෙනියනවා කියලා. ඒ වෙලාවේ ඩොක්ටර්ස්ලා කිව්වා ගෙදර ගෙනිහින් ඒ මැෂින්වලින් වැඩ කරන හැටි දන්නවද කියලා. මම කිව්වා මට පුහුණුව දෙනවා නම් කර ගන්න පුළුවන් කියලා. ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ තිබෙන සියලුම උපකරණ ක්‍රියාකරවීම පිළිබඳ මාස තුනක පුහුණුවක් මට නොමිලේම ලබාදීමට ඔවුන් කාරුණික වුණා. මගේ පුහුණුව පිළිබඳ සෑහීමකට පත්වුණාට පසුව වෛද්‍යවරයෙක් සහ හෙදියක් සමඟ ගිලන් රථයකින් දුව මගේ ගෙදරටම ගෙනත් දුන්නා. නමුත් වෛද්‍යවරු කිව්වා, කොහොම බලා ගත්තත් අවුරුදු පහක් උපරිමයෙන් බලාගනී, එතැනින් එහාට දරුවා ජීවත් කරවන්න බැහැ කියලා. නමුත් දැන් අවුරුදු 15ක් වෙනවා, මගේ දුව මේ විදිහට ලෙඩ ඇඳට වැටිලා. මම මට පුළුවන් උපරිමයෙන් පුළුවන් තාක්කල් එයාව බලාගන්නවා.” අසෝක පැවසුවේ හැඟීම්බරවය.
මව් සෙනෙහස පිළිබඳ අනන්ත අප්‍රමාණ කවි, ගී ලියැවෙද්දී අසෝක වැනි මව්වත් හදවත් හිමි පියවරුන් ගැන කවි, ගී ලියැවෙන්නේ අඩුවෙන් බව ගතවූ පහළොස් වසර දෙස හැරී බලන කා හටත් සිතෙනු නිසැකය. නිවෙසේ තිබූ විශාලම නිදන කාමරය දැඩි සත්කාර ඒකකයක් බවට පරිවර්තනය කොට දියණියගේ ජීවිතය රැකගැනීමට අවැසි උපකරණවලින් එය සන්නද්ධ කිරීමට අසෝකට දිරිය ශක්තිය තිබිණි.
“ඒක ලේසි වැඩක් වුණේ නැහැ. ඒත් දරුවා වෙනුවෙන් තාත්තා කෙනෙක් විදිහට මට කරන්න බැරි මොනවද? දුව අසනීප වෙද්දි මම වැඩ කළේ වරායට සම්බන්ධ ආයතනයක. අවුරුදු 20ක් විතර කරපු ඒ රස්සාවෙන් අස්වෙලා ගත්ත අර්ථසාධක මුදලුත් මම වැය කළේ දරුවා වෙනුවෙන් උපකරණ ගන්න. සිංගර් ආයතනය මේ කාමරයට වායු සමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කළා. ඒ වෙනුවෙන් අධික විදුලි බිලක් ආවා. ඒ වෙලාවේ සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමැතිතුමා සෝලා පවර් එකක් දීලා මට උපකාර කළා. එදා ඉඳලම දුව ජීවත් වෙන්නේ නළ මාර්ගයෙන් ආමාශයට දෙන දියර ආහාරවලින්. ඒ සඳහා දෙන විශේෂ අධි ප්‍රෝටීන් පිටි වර්ගයෙන් පිටි ටින් එකක් මේ වෙද්දි රුපියල් 5,200ක් වෙනවා. සතියකට ඒ පිටි ටින් 4ක් ඕනේ. එදා ඉඳන් මේ දක්වාම දරුවාට ඒ පිටි වර්ගය පරිත්‍යාග කරන්නේ බවර් සහ සමාගම. නිශ්ශංක සේනාධිපති සහ රාජිත සේනාරත්න හිටපු ඇමැතිතුමා දරුවාට ශ්වසනාධාර යන්ත්‍ර ලබා දුන්නා. ඒ වගේම කිහිප දෙනෙක් කළ උදව් උපකාර සහ මගේ තිබුණු ඉඩකඩම් යාන වාහන සේරම විකුණලයි මේ තාක් මගේ දරුවව ජීවත් කර ගත්තේ. දරුවගේ සාත්තු සප්පායම් සියල්ල කරන්නේ මම. නළ මඟින් දියර ආහාර පමණක් දෙන නිසා දරුවගේ ශ්වාසනාලය සිදුරු කරලා හුස්ම ගන්න ඔක්සිජන් බට දාලා තියෙන්නෙ. ඒවා මාරු කරන්න මුල් කාලේ රෝහලට ගියත් දැන් මට රෝහලින් පුහුණුවක් දීලා තියෙනවා ඒකත් ගෙදරදිම කරගන්න.”
අසෝක කියන්නේ පිය සෙනෙහසට ඉමක් කොණක් නැති බව පසක් කරමිනි. ඒ සියලු දුක් දොම්නස්, අභියෝග අතරේ ඔහු එක් දෙයක් ගැන තුටු වන්නේය.
“මට තියෙන එකම සතුට දුව සතුටින් ඉන්න එක ගැනයි. ඒ සඳහා එයා ධර්ම මාර්ගය තෝරගෙන තියෙනවා. පිටරට ඉන්න ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා එක්ක ධර්ම කරුණු සාකච්ඡා කිරීමෙන් දුව ධර්මය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන සිටිනවා. දුවට කතා කරන්න බැරි වුණාට එයා ෆෝන් එකෙන් මැසේජ් කරනවා. එයාට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. මේ විදිහට අවුරුදු 15ක් තිස්සේ ඇඳට වෙලා ජීවිතේ ගත කළත් දුව ඒ ගැන කලකිරීමෙන් නැහැ. දුක හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසා හැමදේම අතාරින්න පුළුවන් තැනට හිත දියුණු කරගෙන ඉන්නවා. මට ඒ ගැන සතුටුයි. සමහර විට මේ තත්ත්වය ඇති වෙලා මුල් කාලෙදිම දුවගේ ජීවිතේ නැති වුණා නම් ධර්මය ගැන අවබෝධයක් නැති නිසා එයා දුගතියට වැටෙන්න තිබුණා. නමුත් දැන් ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා මට එයා ගැන සතුටුයි. දුව නිතරම කියන්නේ අපි පුළුවන් තරම් පින් දහම් කරමු කියලා. එයා කියන්නෙම මේ සසරෙන් ඉක්මනට අපි මිදෙන්නෝනි, ඒ නිසා තාත්තත් මා එක්ක මේ මාර්ගයේම එන්න කියලයි. දුව දැන් නිතරම මට කියන්නේ, අවුරුදු 15ක් ඇඳ උඩ ඉඳලා මම දැන් හුස්ම ගන්න බැරි කෙනෙක්ගෙ වේදනාව හොඳට දන්නවා. ඒ නිසා අපි පුළුවන් විදිහට රෝහල්වලට වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරමු. ඒ පිනෙන් මට හුස්ම ගන්න පුළුවන් වෙයි තාත්තේ කියලා. දුවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මම පුළුවන් උපරිමයෙන් මහන්සි වෙනවා.”
මේ වන විට 28 වැනි වියේ පසුවන පවිත්‍රාගේ ඒ පවිත්‍ර පැතුමට පියාපත් දෙන්නට ආදරණීය පියා ඇප කැපවී සිටී. මීට දෙවසරකට පෙර ඒ පැතුම මල් ඵල ගැනුනේ නිකවැරටිය මූලික රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙනි.
” දුව ලියන්න හරිම කැමතියි. එයාගේ හීනයක් තිබුණා පොතක් එළිදක්වන්න. මාස 9ක් විතර මහන්සි වෙලා එයා ලියපු ‘රුවල් නැවේ සතුට පිරුණු චාරිකාව’ කියන නවකතා පොත විකුණලා ලැබුණු ආදායමත් එක්ක තවත් ආධාර ඇතිව රුපියල් ලක්ෂ 12කට තමයි ඒ මැෂින් එක ඒ රෝහලට පරිත්‍යාග කළේ. දුවගේ එකම ආශාව තව තවත් ඒ විදිහට මැෂින් පරිත්‍යාග කරන එක. දැන් ඒ මැෂින් එකක් රුපියල් ලක්ෂ 23ක් වෙනවා. දුව ලියපු තවත් පොතක් තියෙනවා මුද්‍රණය කරන්න. ඒ වගේම දුව චිත්‍ර අඳින්නත් දක්ෂයි. දුව ඇඳපු චිත්‍ර, ප්‍රදර්ශනයක් පවත්වන්න තරම් ගොඩක් තියෙනවා. ඒ වගේම දුව ගොඩක් ආසයි පූජනීය ස්ථාන වන්දනා කරන්න යන්න. එක සැරයක් සෝමාවතියේ පින්කමකට දුව අරගෙන ගියා. දුව වෙනුවෙන් අවදානම් ගන්න මම බය නැහැ. දුවගේ ආධ්‍යාත්මික ජීවිතයේ සතුටයි මට වටින්නෙ. මගේ දුව දැන් අවුරුදු 28ක තරුණියක්. අවුරුදු 15කට වැඩි කාලයක් තිස්සේ එයා මෙහෙම ලෙඩ ඇඳක ඉන්න එක මට දුකක්. නමුත් මේ දරුවා මගේ ජීවිත කාලය තුළ පුදුමාකාර කුසලකර්මයක් කර ගන්න මඟ පාදපු දරුවෙක් කියල මම හිතනවා. ඒ නිසා පුළුවන් තරම් එයා වෙනුවෙන් පින්දහම් කරන්නයි මමත් නිතරම උත්සාහ කරන්නේ.”
පවිත්‍රාට කාන්දු වී ඇත්තේ ඇගේ පියාගේ හදවතේ ඇති විසල් ආත්ම ශක්තිය විය හැකිය. පවිත්‍රා ජීවත් වන්නේ ධර්මය මැනවින් අවබෝධ කරගෙනය. ඇයගේ ජීවිතයේ හොඳම මිතුරා, රැකවලා මෙන්ම සන්නිවේදකයා ද පියාය. ඇය තම සිතැඟි ඔහුට පවසන්නේ ලියුම් ලියමිනි. ජීවත් වන තුරා දියණිය සිය දෑස මෙන් රැකගන්නා අසෝක ඒ වෙනුවෙන් කිසිවකුට අත නොපායි.
“දරුවා වෙනුවෙන් හැමදේම නැතිවුණා කියලා කම්පා වෙන තාත්තා කෙනෙක් නෙවෙයි මම. මට පුළුවන් තාක් කල් මම දරුවා ජීවත් කරවනවා. මේ වගේ දරුවො ගැන නව රජය වැඩි සැලකිල්ලක් දක්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
අසෝක පවසන්නේ සුබවාදී අපේක්ෂා ඇතිවය.
“පියෙකුගෙ දුක කියාපාන
මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඬා වැටේ…”
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන ඒ ගීතය අසෝක වැනි දරුවන් වෙනුවෙන් අපරිමිතව කැපවූ හැම තාත්තා කෙනකුගේම ආත්මයට කඳුළු පැන් ඉසින්නා සේය.
සිළුමිණ